ආරක්‍ෂක සහයෝගීතාව ආර්ථික පුනර්ජීවනය සඳහා වන ප්‍රමුඛ මංපෙතක් බව
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි

අප්‍රේල් 11, 2024

'ඉන්දියානු ආරක්‍ෂක පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවයෙන් ඔවුන් හා ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදු කිරීම රටේ ආර්ථික ප්‍රබෝධයට හේතු වනු ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු සමාගම් වලින් මිලට ගනු ලැබූ අප වෙනුවෙන්ම නිර්මාණය කරනු ලැබූ ගෙවූ මුදලට ඉහල වටිනාකමක් ඇති නිෂ්පාදන  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමට උපකාරී විය.'

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පසුගිය බදාදා (අප්‍රේල් 10) කොළඹ ටාජ් සමුද්‍රා හි පැවති ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවේ නිෂ්පාදිත ආරක්‍ෂක උපකරණ ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂක නිෂ්පාදනයේ සහයෝගීතාව සඳහා මාර්ග ගවේෂණය කිරීම අරමුණු කර ගනිමින් "නව අවස්ථාවන් හඳුනා ගැනීම සහ නව සබඳතා ඇති කර ගැනීම" යන තේමාව යටතේ ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ වූ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබිණ.  

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, අතිගරු සන්තෝෂ් ජා මැතිතුමා සහ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක නිෂ්පාදන) ශ්‍රී අනුරාග් බජ්පායි මහතා ප්‍රමුඛ ඉන්දීය දූත පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති, ගුවන් හමුදාපති මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සම්මන්ත්‍රණයට එක් විය.