ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු
සිය රාජකාරි ඇරඹීමට පෙර සම්ප්‍රදායික අවුරුදු තේ මේසයට එක්වෙයි

අප්‍රේල් 16, 2024

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟ බැඳී පවතින සම්ප්‍රදායන්ට අප රටේ සුවිශේෂී ස්ථානයක් හිමි වන අතර, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද අද (අප්‍රේල් 16) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී සංවිධානය කරන ලද චාම් අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයට සහභාගී වූහ.

අලුත් අවුරුද්දෙන් පසු රාජකාරි ආරම්භ කිරීමේදී චාරිත්‍රාණුකූලව සියලු සාමාජිකයන් සමඟින් අවුරුදු තේ පැන් සංග්‍රහයට එක්වීම සම්ප්‍රදාය වන අතර, ජෙනරල් ගුණරත්න ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ද එම චාරිත්‍ර අනුගමනය කරමින් මෙම අවස්ථාවට සහභාගී විය.

අමාත්‍යාංශය තුළ ඇති එකමුතුකම සහ සුහදත්වය ඉස්මතු කරමින් පැවති මෙම අවස්ථාවේදී, උදා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියළු කාර්ය මණ්ඩලය වෙත සුබපැතුම් එක් කිරීමට ද ආරක්‍ෂක ලේකම්වරයා අමතක නොකළ අතර, ඔවුන් විසින් ද සිය උණුසුම් සුභ පැතුම් ආරක්‍ෂක ලේකම්වරයා වෙත එක්කරන ලදි.