පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීම

අප්‍රේල් 19, 2024

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා 2024.04.20 දින සිට 2024.05.20 දින දක්වා ප්‍රකාශයට පත්කරන ලද පොදු සමා කාලය නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා අදාල නොවන බව ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

1.    2023.12.31 දින හෝ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් සඳහා පමණක් වලංගු වේ.

2.    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින අධිකාරිලත් නිලධාරීන් සඳහා මෙම පොදු සමා කාලය වලංගු නොවේ.

3.   මෙම පොදු සමා කාලය තුළ රපෝර්තු කරන අයවළුන් නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් කිරීමට කටයුතු සිදුකරන අතර, පහත සඳහන් ක්ෂේත්‍රයන්හි සේවයේ නියුතු සෙසු නිලයන් වෙත රාජ්‍ය අරමුදල් භාවිතා කරමින් ලබාදී ඇති විශේෂ ගණයේ පුහුණුවීම් සඳහා දරණ ලද වියදම් හා ඔවුන් සේවයෙන් ඉවත් කිරීමෙන් එම ක්ෂේත්‍ර වල කටයුතු පවත්වා ගෙන යාමේ බාධාවන් සැලකිල්ලට ගෙන ඔවුන් මෙම පොදු සමා කාලයට අදාළ නොවනු ඇත.

        අ.    යුද්ධ හමුදාව තුල පොදු සමාකාලය අදාළ නොවන ක්ෂේත්‍රයන්,

            i. මහජන සෞඛ්‍ය පරික්‍ෂක
            ii. දන්ත චිකිත්සක
            iii. දන්ත ශල්‍යාගාර සහායක
            iv. විද්‍යුත් ඛන්තුක රේඛන ශිල්පි
            v. රසායනාගාර කාර්මික ශිල්පි
            vi. හෙද
            vii. අක්‍ෂි තාක්‍ෂණවේදී
            viii. ශල්‍යාගාර කාර්මික ශිල්පි
            ix. ඖෂධවේදී
            x. ඖෂධ සංයෝජක
            xi. භෞත චිකිත්සක
            xii. සෘජුකාරක හා අංගදේශක
            xiii. වෘත්තීය චිකිත්සක
            xiv. විද්‍යුත් නිකර්ෂණ ශිල්පි
            xv. විකිර්ණවේදී
            xvi. සුක්‍ෂම උපකරණ
            xvii. ලියවන වඩු

      

  ආ.    නාවික හමුදාව තුල පොදු සමාකාලය අදාළ නොවන ක්ෂේත්‍රයන්,

            i.   සියළුම ශීල්පිය අංශවලට අයත් නාවිකයින් (Artificers)
            ii.   වෘත්තිමය වෛද්‍ය / වෘත්තිමය දන්ත අංශයේ නාවිකයින්

 

        ඇ.    ගුවන් හමුදාව තුල පොදු සමාකාලය අදාළ නොවන ක්ෂේත්‍රයන්,

              i.    උසස් වෘත්තිය පුහුණු පාඨමාලාවන් හදාරා වසර 12 ක සේවා කාලයක් සම්පුර්ණකර නොමැති ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂකයට අයත් පහත සඳහන් වෘත්තීන්,

            (අ).   ගුවන් යානා සැකිලි කාර්මික ශිල්පි
            (ආ).   ගුවන් යානා යන්ත්‍ර කාර්මික ශිල්පි
            (ඇ).   ගුවන් යානා විදුලි හා මෙවලම් කාර්මික ශිල්පි
            (ඈ).   ගුවන් යානා ආරක්‍ෂක උපකරණ සහායක

             

              ii.    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකයට අයත් පහත සඳහන් වෘත්තීන්,

            (අ).   සහතිකලත් හෙද
            (ආ).   විද්‍යුත් කන්තු රේඛන තාක්‍ෂණික ශිල්පි
            (ඇ).   විද්‍යුත් නිකර්ෂණ රේඛන තාක්‍ෂණික ශිල්පි
            (ඈ).   ඖෂධවේදී
            (ඉ).    වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණික ශිල්පි
            (ඊ).   ජිව වෛද්‍ය තාක්‍ෂණික ශිල්පි
            (උ).   ගුවන් හමුදා සෞඛ්‍ය පරික්‍ෂක
            (ඌ).   විකිර්ණ ශිල්පි

                                        .    

             iii.    දන්ත වෛද්‍ය සේවා වෘත්තීන්,

            (අ).   සහතිකලත් හෙද
            (ආ).   විකිර්ණ ශිල්පී
            (ඇ).   ශල්‍යාගාර තාක්‍ෂණවේදී
            (ඈ).   දන්ත සහායක විශේෂ
            (ඉ).   දන්ත තාක්‍ෂණික විශේෂ
            (ඊ).   දන්ත තාක්‍ෂණික ශිල්පි (I)
            (උ).   දන්ත චිකිත්සක

                      
                       
4.    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින, දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ද නැවත ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව මෙම පොදු සමා කාලය තුලදී පහත කොන්දේසීන්ට යටත්ව නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අනුමැතිය ලබාදෙනු ලැබේ:

        අ.    නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකිරීම හැර වෙනත් කිසිඳු විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධ නිම නොවූ විනය කටයුතු නොපැවතිය යුතුය.

        ආ.    නීති විරෝධී ක්‍රම මගින් විදේශගත වූ හෝ වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛණ සකස් කර විදේශගත වී නොමැති අයවළුන් විය යුතුය.

       ඇ.    ශ්‍රී ලංකා රජයේ අරමුදල් භාවිතා කරමින් හෝ විදේශ ප්‍රදායක ආයතන වෙතින් ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙන ලද අවස්ථාවන් මගින් විදේශ අධ්‍යයන කටයුත්තක්, රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් හෝ වෙනත් කිසියම් කාර්යයක් සඳහා විදේශ ගතවී නැවත මෙරටට වාර්තා නොකරන ලද අයවලුන් සම්බන්ධයෙන් මෙම පොදු සමා කාලය අදාළ නොවේ.

5.    තවද, දැනට විදේශගත සෙසු නිලයින් මෙම පොදු සමා කාලය තුල සේවයෙන් ඉවත් වීම සඳහා අදාළ විදේශ රාජ්‍යයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සහතික කරන ලද හෝ එම අදාල රාජ්‍යයෙහි සුදුසුකම් ලත් නීතීඥ / නොතාරිස් හෝ ඊට සමාන වෘත්තිකයෙකු ඉදිරියේ සහතික කරන ලද ඇටෝර්නි බලපත්‍රයකින් (ශ්‍රී ලංකා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ නිසි පරිදි ලියාපදිංචි කර ඇති) බලය පවරන ලද පුද්ගලයෙකු හරහා හමුදා සේවයෙන් ඉවත් වීමට ඉල්ලුම් කල යුතුය.