15 වන ආසියානු වෙරළ ආරක්‍ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව (HACGAM) රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්

ජුලි 09, 2019

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) විසින් සංවිධානය කරන ලද 15 වන ආසියානු වෙරළ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේ - ක්‍රියාකාරි මට්ටමේ නියෝජිතයන්ගේ රැස්වීම (WLM) අද (ජූලි 09) දින කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය. අද උදෑසන පැවති ආරම්භක සැසිවාරයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා සහභාගී විය.

ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා පිළිගන්නා ලදී. මෙම වසරේ පැවැත්වෙන සමුළුව සදහා සාමාජික රටවල සහ නිරීක්‍ෂණ සංවිධානවල නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වෙති.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය විජේවර්ධන මහතා කියා සිටියේ සමුද්‍රීය ක්‍රියාකාරකම් මේ වන විට තීරණාත්මක සාධකයන් බවට පත්වී ඇති බවත් එමගින් වර්තමාන හා අනාගත සමුද්‍රීය ක්‍රියාකාරකම් තීරණය කිරීමට සහ ඒවාට බලපෑම් ඇති කිරීමට හේතු විය හැකි බවයි. තවද ඉන්දු-පැසිෆික් කලාපය වේගයෙන් ගෝලීය කටයුතුවලට කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් පවතින අතර සමුද්‍ර භූ දේශපාලනය, ආරක්ෂාව, වෙළඳ හා පාරිසරික ක්‍රියාකාරකම් සඳහා මධ්‍යස්ථ ප්‍රදේශයක් බවට පත්වී ඇති බවත් ප්‍රකාශ කරන ලදී.

රටේ උපායමාර්ගික පිහිටීම පිලිබදව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ නිල් ආර්ථිකය පිළිබඳ දැක්ම මත පදනම් වූ රටේ සාර්ථකත්වය හා ප්‍රගතිය ආරක්ෂිත සමුද්‍රයන් මත රඳා පවතින බවයි. කලාපය තුළ සාම්ප්‍රදායික නොවන තර්ජන මතුවීම ප්‍රධාන කරුණක් ලෙස සඳහන් කළ ඔහු සමුද්‍රීය හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සදහා සාමූහික ප්‍රයත්නයක වැදගත්කම පිලිබදව පවසන ලදී. සමුද්‍රීය ප්‍රජාව අතර ශක්තිමත් හවුල්කාරිත්වයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය සාකච්ඡා හා ශක්තිමත් වීමට අවස්ථාවන් සැපයීමේදී ආසියානු වෙරළ ආරක්‍ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව (HACGAM) වැනි කලාපීය සංසදවලට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව වැඩිදුරටත් පැවසීය.

අද දින ආරම්භ වූ ක්‍රියාකාරී මට්ටමේ රැස්වීම (WLM) බ්‍රහස්පතින්දා (11) දින අවසන් වේ. වෙරළාරක්‍ෂක නිල වෙබ් අඩවියට අනුව ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) මෙම බහුපාර්ශ්වික රැස්වීම සඳහා සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වෙරළ ආරක්‍ෂක ආයතන ප්‍රධානින්ගේ සමුළුව 2004 වසරේදී ජපානයේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම සමුළුව ආසියානු කලාපයේ ආරක්ෂාව , සමුද්‍රීය ආරක්ෂාව සහ සමුද්‍රීය පවිත්‍රතාවය සහතික කිරීම , වෙරළාරක්‍ෂක සහ සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ ආයතනවල ඉහළ මට්ටමේ බහුපාර්ශ්වික රැස්වීමකි. මෙම සංවිධානය වර්තමානය වන විට සාමාජික රටවල් 22 කින් සමන්විත වේ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක), නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ