දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය
ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරීක්‍ෂණයට

නොවැම්බර් 10, 2024

දීඝවාපි මහා සෑ රඳුන්ගේ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණ භාරය” වන ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අද (නොවැ. 09) දින ඓතිහාසික දීඝවාපිය පුදබිමෙහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී පළමුව දීඝවාපි මහා දාගැබෙහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ගඩොල් සකස් කරන ස්ථාන නිරීක්‍ෂණය කල ආරක්‍ෂක ලේකම්වරයා, එහි කටයුතු කඩිනමින් හා ක්‍රමවත්ව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව දීඝවාපි චෛත්‍යරාජයාණන් වහන්සේ වැඳ පුදාගත් ආරක්‍ෂක ලේකම්වරයා, ඉදි වෙමින් පවතින චෛත්‍යයේ ගඩොලක් තැන්පත් කිරීමටද, අමතක නොකළේය. එහිදී ඉදිකිරීම් කටයුතු වල වත්මන් ප්‍රගතිය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන් සමඟ සාකච්ඡා කල ආරක්‍ෂක ලේකම්වරයා, ඉදිකිරීම් සම්බන්ධයෙන් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

පූජා භූමියේ අභිනවයෙන් ඉදි කල ධාතු මන්දිරය වන්දනා කිරීමෙන් පසු, “අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමි අනුස්මරණ සන්ථාගාර ශාලාව”, දාන ශාලාව සහ ඉදිවෙමින් පවතින බුද්ධ මන්දිරය ද නිරීක්‍ෂණය කළේය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ ගරුතර මහා සංඝරත්නයේ මෙන්ම, ව්‍යාපෘතිය හා සම්බන්ධ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධව දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර, ඒ අනුව එළඹුණු නිගමනයන්ට අනුව, වඩාත් ඵලදායි ඉදිරි සැලසුම් සඳහා ව්‍යාපෘති නිලධාරීන්ට අවශ්‍ය තාක්‍ෂණික උපදෙස් ලබාදීම ද සිදු කෙරිණි.

දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත ස්වාමින් වහන්සේ, ආරක්‍ෂක අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා  ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් හා විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ව්‍යාපෘති භාර නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.