කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මකයි

මැයි 03, 2019

ජනතාව අතර සංහිඳියාවට අහිතකර වන අසත්‍ය තොරතුරු,චායාරුප හෝ වීඩියෝ පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ. වාර්ගික හැඟීම් උසිගන්වන ව්‍යාජ තොරතුරු පැතිරවීමට සම්බන්ධ වූවන් පිළිබඳව බලධාරීන් විසින් සෙවිල්ලෙන් සිටී. එවැනි අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වන්නන් හට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කෙරෙනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (මැයි 02) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ත්‍රස්තවාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් රටපුරා ක්‍රියාත්මක කරමින් සිටි. ඕනෑම ස්ථානයක් සෝදිසි කිරීමට හා ඕනෑම පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පවත්නා හදිසි නීති රෙගුලාසි යටතේ ත්‍රිවිධ හමුදාවන් වෙත බලය පවරා ඇත.

මෙම මාධ්‍ය හමුව හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඒ සඳහා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ද සහභාගී විය.