රියදුරු බලපත්‍ර යුද හමුදාව මගින් මුද්‍රණයෙන් රාජ්‍ය මුදල් ඉතිරියක්

ජනවාරී 02, 2021

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර ඊයේ (ජනවාරි 01) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ  අත්සන් කරන ලද විශේෂ අවබෝධතා ගිවිසුමකට අනුව ශ්‍රී ලංකා යුද හමුදාව ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම ආරම්භ කළේය.

පසුගිය වසර 15 ක කාලය තුළ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වියදම් කරමින් රියදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික සමාගමක් විසින් විදේශීය සමාගමක් සමඟ ඒකාබද්ධව හවුල් ව්‍යාපාරයක් ලෙස සිදු  කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ආරම්භකරන ලදි.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම සහභාගි විය.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  , රාජ්‍ය නිලධාරීන්, දෙපාර්තමේන්තු නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.