‘සිරසා නමාමි වෙසක් කලාපය 2025’ ආරක්‍ෂක ලේකම්වරයාගේ
සුරතින් කොළඹදී විවෘත කෙරේ

මැයි 13, 2025

සිරස ටීවී මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'සිරසා නමාමි වෙසක් කලාපය 2025' හි සමාරම්භය සනිටුහන් කරමින් ඊයේ (මැයි 12) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සංකේතාත්මකව විවෘත කරන ලදී. බෞද්ධාගමික උත්සව අතුරින් වඩාත් පූජනීය අවස්ථාවක් ලෙස සැලකෙන වෙසක් උත්සවය, සුවහසක් බෞද්ධ ජනතාවගේ අධ්‍යාත්මික පුනරුදය, සංස්කෘතික ඇගයීම සහ සහජීවනය පෝෂණය කිරීම අරමුණු කරයි.

වෙසක් උත්සවයේ ඇති අධ්‍යාත්මික වැදගත්කම පෝෂණය කරමින්, සර්වඥ ධාතුන් වහන්සේ රැගත් විශේෂ පෙරහැරකින් සැමරුම් උත්සවය විචිත්‍රවත් විය. එමෙන්ම, වෙසක් සැමරුම් උත්සවයේ වටිනාකම් ඉහල නංවමින් විවිධ වර්ණ රටාවන්ගෙන් හා කලාත්මක ආලෝකකරණයෙන් විචිත්‍රවත් වූ වෙසක් තොරණකින්, කලාකරුවන් ඇතුළු ගායන වාදන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනු ලබන වෙසක් බැති ගී සහ බැතිමතුන් සඳහා සංවිධානය කරනු ලබන දන්සල් වලින් ද සිරසා නමාමි වෙසක් කලාපය සමන්විත වේ. තවද, මෙවර වෙසක් කලාපය වෙත පැමිණෙන බැතිමතුන් හට නව අත්දැකීමක් එක් කරමින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඓතිහාසික බෞද්ධ කෞතුක වස්තු ඇතුළත් ප්‍රදර්ශනයක් ද සංවිධානය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ පොහොසත් බෞද්ධ ආගමික ශිෂ්ටාචාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට ඉඩ සලසයි.

එම අවස්ථාවේදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ආරක්‍ෂා කිරීමේ සහ එවැනි මුලපිරීම් හරහා සංස්කෘතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට, විවිධ ආගමික කටයුතු සහ සමාජීය සුබසාධන ක්‍රියාකාරකම්වල යෙදීමට ඉඩ සලසන අර්ථවත් වෙසක් උත්සව කලාපයක් සංවිධානය කිරීම සඳහා සිරස මාධ්‍ය ජාලය ප්‍රමුඛ කැපිටල් මහරාජා සමූහය විසින් ගනු ලැබූ උත්සාහය ඔහුගේ පැසසුමට ලක් විය.

විවිධ බෞද්ධ ආගමික වතාවත්, කලාත්මක සංදර්ශන සහ දන්සැල් වලින් සමන්විත සිරසා නමාමි වෙසක් කලාපය දිනපතා පස්වරු 06:30 සිට එළඹෙන මැයි 15 වන දින දක්වා කොළඹ 2, බේබෘක් පෙදෙසේ දී මහජනතාව වෙනුවෙන් විවෘතව පවති.