ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් 7 වන
ජාත්‍යන්තර ආරක්‍ෂක උපදේශක පාඨමාලාව ශ්‍රී ලංකාවේදී පැවැත්වේ
මැයි 15, 2025
ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානය හා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන, 7 වන ජාත්‍යන්තර ආරක්‍ෂක උපදේශක පාඨමාලාව මැයි 14 දින ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කරන ලදී. රටවල් 35 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන මැයි 21 දක්වා සතියක කාලයක් පුරා පැවැත්වේ.
ආරක්‍ෂක රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සහ ආරක්‍ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය කෙරෙන ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, ජිනීවා ආරක්‍ෂක ප්‍රතිපත්ති මධ්‍යස්ථානය විසින් ලොව පුරා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියෙහි තවත් අදියරක් වශයෙන් මෙම පාඨමාලාව පවත්වනු ලබන අතර, ස්විට්සර්ලන්තය, සෙනගල් රාජ්‍යය, ජෝර්දානය, මොන්ගෝලියාව සහ කෙන්යාව යන රටවල ද, පවත්වනු ලබයි. ස්විට්සර්ලන්තයේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන අතර, විවිධ රටවල ආරක්‍ෂක සේවා සහ ජාත්‍යන්තර වශයෙන් ඊට සම්බන්ධ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින නිලධාරීන්ට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්වේ.
ආරක්‍ෂක ප්‍රතිපත්තිවල ප්‍රායෝගික භාවිතයන්, සීඝ්‍රයෙන් වෙනස් වන රාජ්‍යතාන්ත්‍රික පරිසරය සහ ආරක්‍ෂක උපදේශකයන්ගේ බහුවිධ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින්, යුරෝපයේ සහ මැද පෙරදිග රටවල මෑත කාලීන වර්ධනයන් ඒකාබද්ධ කරමින් පුළුල් විෂය මාලාවක් ඔස්සේ මෙවර පාඨමාලාව පැවැත්වේ.
මෙම පුහුණු වැඩමුළුව ඔස්සේ ආරක්‍ෂක උපදේශකවරුන්ගේ මූලික වගකීම් හා සම්බන්ධ න්‍යායාත්මක දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද අතර, ඒ ඔස්සේ ඔවුන්හට ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ආරක්‍ෂක රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට අදාළ තීරණාත්මක නිපුණතා ලබා ගැනීම සහතික කරයි. නව පත්වීම් ලැබූ හෝ ඉදිරියේදී පත් කිරීමට යෝජිත ආරක්‍ෂක උපදේශකයින්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙන්ම, ආරක්‍ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල නිලධාරීන් සඳහා නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව ඔස්සේ ගෝලීය ආරක්‍ෂක සහයෝගීතාවයට අත්‍යවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික, උපායමාර්ගික සහ අන්තර් සංස්කෘතික කුසලතා වර්ධනය අවධාරණය කරයි.
විෂයානුබද්ධ දේශන, වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන පුහුණු සැසි, අභ්‍යාස සහ ක්ෂේත්‍ර චාරිකා ආදී අංග කිහිපයකින් මෙම පුහුණු වැඩසටහන සමන්විත වේ. කාලීන ආරක්‍ෂක අභියෝගාත්මක අවස්ථා නිදර්ශනය කරමින් කණ්ඩායම් වශයෙන් දැනුම බෙදා ගැනීම, විශ්ලේෂණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙතුලින් අපේක්‍ෂා කෙරේ. කලාපීය සහ ගෝලීය ආරක්‍ෂක රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ උපායමාර්ගික සංවාදය ප්‍රවර්ධනය කිරීමේදී අන්තර්ජාතික වශයෙන් පවතින කාර්යභාරය ද, මේ ඔස්සේ අවධාරණය කරයි.
විවිධ රටවල් නියෝජනය කරමින් විදේශ සම්බන්ධතා නිලධාරීන් සහ නියෝජිතයින් මෙන්ම, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යාංශයේ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, මෙම අවස්ථාවට සහභාගී වූහ.