සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් කොළඹදී පැවැත්වේ

මැයි 15, 2025

Consortium of South Asian Think Tanks, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සහ Konrad-Adenauer-Stiftung (KAS) යන ආයතන එක්ව "කුඩා, මධ්‍යම සහ දූපත් රාජ්‍යයන් අතර සමුද්‍රීය ආරක්‍ෂාව අන්තර් තරඟකාරිත්වය, සහයෝගීතාවය සහ සහජීවනය" යන තේමාව යටතේ සංවිධානය කරන ලද දෙදින ජාත්‍යන්තර සමුළුව අද (මැයි 15) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක ලේකම්වරයා නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) එහි සමාරම්භක උත්සවයට සහභාගී විය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන දේශනය නාවික හමුදාපතිවරයා විසින් පවත්වන ලදී.

ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, සිංගප්පූරුව, බංග්ලාදේශය, ජර්මනිය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් කීර්තිමත් විද්වතුන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් අද දින පැවති සංවාද සැසි සඳහා සහභාගී වූහ. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, දේශීය හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල විද්වතුන් සහ වෘත්තිකයන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, විෂයානුබද්ධව කටයුතු කරන අමාත්‍යාංශවල නිලධාරීන් මෙන්ම, දෙස් විදෙස් නියෝජිතයින් රැසක්  සමුළුවට සහභාගී වූහ.

.