නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා රණවිරු සෙවණේ
රණවිරුවන්ගේ සුවදුක් සොයා බලයි

මැයි 19, 2025

රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (මැයි 19) දින රාගම රණවිරු සෙවණේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා, දශක තුනක් පුරා පැවති යුධ ගැටුම් වලින් බරපතල ලෙස තුවාල ලැබීම සහ ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් රණක්‍ෂිතයට පත්ව රාගම රණවිරු සෙවණේ ප්‍රතිකාර ලබන ශ්‍රී ලංකා යුද හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු හා කාලය ගත කළ අතර, මෙම අවස්ථාවට නාවික හා ගුවන් හමුදාපතිවරුන් ද එක්ව සිටියහ.

එහිදී නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඔවුන් මුහුණ දෙන ගැටළු වලට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලූ අතර ඔවුන්ට ලබා දී ඇති වෛද්‍ය, පුනරුත්ථාපන සහ අනෙකුත් සහායක සේවාවන් පිළිබඳවද සොයා බැලූහ. මෙම  හමුදා සාමාජිකයන්ගේ නිර්භීතභාවය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළ අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා රජයේ සහයෝගය සහ අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ඉදිරියටත් ලබා දෙන බවට ද සහතික විය.

එමෙන්ම රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ රැකවරණය සහ පුනරුත්ථාපනය වෙනුවෙන් රාගම රණවිරු සෙවණේ කාර්ය මණ්ඩලය දක්වන නොසැලෙන කැපවීම වෙනුවෙන් ද ඔහු සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය. මෙම විරෝධාර රණවිරුවන් හට ගෞරවයෙන්, අභිමානයෙන් සහ සමාජයේ වටිනා පුද්ගලයන් වශයෙන් ලැබිය යුතු ගෞරවනීය සමාජ තත්වයක් ලැබීම සහතික කිරීම සඳහා එම කාර්යමණ්ඩල සාමාජිකයන් සිදුකරන වැදගත් කාර්යභාරය අගය කිරීමටද අමාත්‍යවරයා අමතක නොකළේය.