රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ දූත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ
ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක

මැයි 21, 2025

එක්සත් රාජධානියේ කීර්තිමත් රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ දුත පිරිසක් ඔවුන්ගේ අධ්‍යයන චාරිකාවට සමගාමිව ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඒ අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ක්‍රියාත්මක කෙරෙන ආරක්‍ෂක අධ්‍යයන ක්‍ෂ්ත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් වන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක නිරත විය. එක්සත් රාජධානියේ කීර්තිමත් අධ්‍යයන ආයතනයක් ලෙස සැලකෙන රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලය, සන්නද්ධ හමුදා සහ සිවිල් සේවය තුළ රාජ්‍ය මට්ටමින් හා ජාත්‍යන්තර උපායමාර්ගික මට්ටමින් වඩාත් ඵලදායී අයුරින් ක්‍රියාත්මක වීමට හැකියාව ඇති උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් සංවර්ධනය කිරීම සඳහා මෙන්ම, රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය තුළ අවශ්‍ය කෙරෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බිහිකිරීම සඳහා කැප වූ ලෝක ප්‍රකට ආයතනයකි.

Simon Stevens සාමිවරයා (Lord Stevens of Birmingham/UK Maritime and Coastguard Agency) සහ එයාර් කොමඩෝර් (විශ්‍රාමික) Paul O’Neil (ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂක කාර්ය මණ්ඩලය, RCDS) විසින් සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසේ ප්‍රධානත්වය දැරුහ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods ද මෙම දූත පිරිස සමඟ එක්ව සිටියේය.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ වැඩබලන අධ්‍යක්‍ෂ (පර්යේෂණ) කර්නල් නලින් හේරත් සහ එම ආයතනයේ පර්යේෂණ කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් රාජකීය ආරක්‍ෂක අධ්‍යයන විද්‍යාලයේ දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබුහ. ඉන් අනතුරුව, කර්නල් හේරත් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව වැඩි දියුණු කිරීමේදී ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැදගත්කම සහ කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කළේය.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ 'ජාතික සහ කලාපීය ආරක්‍ෂාව' යන තේමාව යටතේ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වීමයි. මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් ඉන්දු -පැසිෆික් කලාපීය ඉදිරි ආරක්‍ෂක දැක්ම සහ ශ්‍රී ලංකාව සඳහා උපායමාර්ගික උපදෙස් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කාර්යාලයේ අධ්‍යක්‍ෂ සහ ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපායමාර්ගික තක්සේරු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය හරින්ද විදානගේ මහතා ආරාධිත කථිකයා ලෙස සාකච්ඡාවට සහභාගී වෙමින් සාකච්ඡා මණ්ඩලය මෙහෙයවූ අතර, එහිදී ඔහු විෂය සම්බන්ධයෙන් වටිනා අවබෝධයක් ලබා දුන්නේය. ඔහු සමඟින් කර්නල් නලින් හේරත්, ලුතිනන් කර්නල් පාලිත හේරත්, කමාන්ඩර් භානු අබේගුණවර්ධන සහ වින්ග් කමාන්ඩර් මධුෂාන් ගමගේ යන නිලධාරීන් පිරිසක්ද, සාකච්ඡාවට සාමාජිකයින් ලෙස එක් වූහ.

මෙම සාකච්ඡාව හා ප්‍රශ්නෝත්තර සැසිය ඉතා ඵලදායී අන්දමින් පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ සාමාජිකයන් සියලුදෙනා කලාපීය ආරක්‍ෂක අභියෝග පිළිබඳ දැනුම, විශේෂඥතාව හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් සහ ප්‍රශස්ථ අන්දමින් ක්‍රියාමාර්ග ගවේෂණය කරමින් සාකච්ඡාවට සහභාගී වුහ.

උපායමාර්ගික මට්ටමින් කලාපීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා ශක්තිමත් කලාපීය අන්තර් සහයෝගීතාව, සහයෝගීතාවය ප්‍රවර්ධනය, සම්බන්ධීකරණය සහ සන්නිවේදනය පෝෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ දෙපාර්ශවයේ නිලධාරීන් එක්ව අවධාරණය කළහ. එමෙන්ම, මෙම ආයතන දෙක අතර පවතින අධ්‍යයන කටයුතු හා සම්බන්ධ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් ද පළ කළහ.

සංචාරය අවසානයේ මෙම අවස්ථාව සනිටුහන් කරමින් සහ අඛණ්ඩ සහයෝගිතාවයේ වැදගත්කම යලි තහවුරු කරමින් දෙපාර්ශවයේ නිලධාරීන් අතර, සමරු ඵලක හුවමාරුවක් ද සිදු කරන ලදී.