ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ආරක්‍ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

ජුනි 03, 2025

ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්‍ෂක අමාත්‍ය ගරු රිචඩ් මාල්ස් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියානු දූත පිරිස මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කොළඹ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (ජුනි 03) පැවැත්වු අතර මෙම අවස්ථාවට කොළඹ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමාද එක්විය.

මෙම හමුවේදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කල අතර, දේශපාලන, ආර්ථික සහ ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළත් හවුල්කාරිත්වයන් පුළුල් කිරීම, කලාපීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම සහ සමුද්‍රීය ආරක්‍ෂාව, සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, ධාරිතා වර්ධනය සහ පුහුණුව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව සඳහා නව මාර්ග ගවේෂණය කිරීම කෙරෙහිද අවධානය යොමුකරන ලදී.

ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික කාර්යභාරය මෙහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වු අතර, විශේෂයෙන් සමුද්‍රීය වසම් දැනුවත්භාවය වැඩි දියුණු කිරීම මෙන්ම සමුද්‍රීය වසම් දැනුවත් කිරීම වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවේ කැපවීම සිහිපත් කරන ලදී.

දෙරට අතර පවතින චිරස්ථායී සහ සුහද ආරක්‍ෂක සබඳතාවයන් ශක්තිමත්භාවය සබැඳිව කරුණු සිහිපත් කල මෙරට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ අන්‍යෝන්‍ය සහයෝගයේ වැදගත්කම අවධාරණය කළේය. මීට අමතරව, 2022 සිට ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඩොලර් මිලියන ගණනක ඉන්ධන ප්‍රදානයක් ඇතුළුව ඔස්ට්‍රේලියානු රජය විසින් ලබාදුන් සැලකිය යුතු ආධාර සඳහා ඔහු සිය කෘතඥතාව පළ කළේය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට KA-350 Beechcraft සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නවීනතම Shallow Water Multi-Beam Echo Sounder (SWMBES) පරිත්‍යාග කිරීම, ඔවුන්ගේ නිරීක්‍ෂණ හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

මෙම ඉහල පෙලේ ආරක්‍ෂක සහයෝගීතාව සහ උපායමාර්ගික සංවාදය තුළින් ඉන්දු - පැසිෆික් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටේ හවුල් කැපවීම මෙම සංචාරය මගින් අවධාරණය කෙරේ.