රාජ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක ලේකම් විසින් e-Land ලියාපදිංචි ක්‍රමය දියත් කරන ලදී

ජනවාරී 04, 2021

ජනාධිපතිතුමා විසින් අපේක්ෂා කරන ලද තවත් එක් සේවාවක් ඉටු කරමින් e-Land ලියාපදිංචි ක්‍රමය අද (ජනවාරි 04) කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.

ප්‍රධාන ආරාධිතයා ලෙස, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු. චමල් රාජපක්ෂ මහතා සහභාගී විය.

රටේ පුරවැසියන්ගේ ඉඩම් අයිතිය හා සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව සඳහන් කරමින් අද දින ආරම්භ කරන ලද e-Land ක්‍රමයේ වැදගත්කම අවධාරණය කරමින් රාජපක්ෂ මැතිතුමා සිය දේශනය පවත්වමින් “දැවෙන ගැටළු ඇති පුද්ගලයින්ට සහන සැලසීමට අප සැමවිටම උත්සාහ කළ යුතුයි”, යනුවෙන් පැවසීය.

ආරක්ෂක හා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, “විද්‍යුත් පද්ධතිය මඟින් රටේ පුරවැසියන්ට ඔවුන්ගේ ඉඩම්වල අයිතිය පිළිබඳ විශ්වාසයකින් යුක්තව ජීවත් වීමට මේ ක්‍රමවේදය මගින් ඉඩ සැලසෙන අතර ඒ නිසා අනාගතයේදී ඉඩම් අයිතිය සම්බන්ධ ආරවුල් ඇතිවීමේ අවස්ථා අවම වනු ඇත”.

“මේ වන විට කාර්යාල තුනක ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස හය තුළ සියලුම දිස්ත්‍රික්ක දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා”. මෙම වසර අවසන් වීමට පෙර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 45 ක මෙම ක්‍රමය දියත් කිරීමේ සැලසුම් තවදුරටත් සහතික කරන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ පිලිබඳව ඉස්මතු කරමින් ඔහු කියා සිටියේ මෙවැනි ව්‍යාපෘතියක් මගින් තාක්‍ෂණය හා ජනතාව කේන්ද්‍ර කරගත් සේවාවන් මත පදනම්ව සමාජයට පහසුකම් සපයන බවත් එම නිසා ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය ඉල්ලා සිටින බවත්ය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම්, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ජනාධිපති කාර්ය සාධක බලකායේ නිලධාරීන්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.