ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා
තුර්කි නාවික හමුදාවට අයත් 'TCG Büyükada' නෞකාවේ නිල සංචාරයක
ජුනි 14, 2025
වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (ජුනි 13) දින තුර්කි නාවික හමුදාවට අයත් 'TCG Büyükada (F-512)' නෞකාවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති ගරු Semih Lütfü Turgut මැතිතුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් Anul Bilgin විසින් නෞකාවට පැමිණි වැඩබලන අමාත්‍යවරයාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් තුර්කි තානාපතිවරයා කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පැසසුමට ලක් කළ අතර, දෙරට අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ මේජර් ජෙනරල් ජයසේකර, තුර්කි නෞකාව ශ්‍රී ලංකාව වෙත පැමිණීමත් සමග දෙරට අතර පවතින ශක්තිමත් ආරක්‍ෂක සහයෝගීතාවය සහ මිත්‍රත්වය සංකේතවත් වන බවත් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින ආරක්‍ෂක හවුල් කාරිත්වය යළි තහවුරු කෙරෙන බවත් අවධාරණය කළේය.
මීට සමගාමිව ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා වන උපාය මාර්ග කෙරෙහි අවධානය යොමු කරමින්, තුර්කි තානාපතිවරයා, ආරක්‍ෂක උපදේශක වරයා සහ නෞකාවේ අණදෙන නිලධාරී සමඟ වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ඵලදායි හමුවක් පැවැත්වූ බව ද මෙහිදී අනාවරණය කළේය.
තවදුරටත් අදහස් දැක්වූ වැඩබලන අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ නාවික ශක්තිය නවීකරණය කිරීමේදී තුර්කි රජය විසින් දක්වන අඛණ්ඩ සහයෝගය අගය කළ අතර නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා දෙරටේම පොදු දැක්ම නැවත අවධාරණය කළේය. ගෝලීය වශයෙන් තරඟකාරී කර්මාන්තයක් වන ආරක්‍ෂක ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන සදහා තුර්කි ජනරජය ප්‍රසිද්ධියක් උසුලන බවත් ආරක්‍ෂක තාක්ෂණය හා සැලකීමේදී විශේෂයෙන් සමුද්‍රීය හා ගුවන් අංශවල පුරෝගාමියෙකු ලෙස තුර්කියේ භූමිකාව පිළිබඳවත් අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පළ කළේය.
ඉන් අනතුරුව වැඩබලන අමාත්‍යවරයා නෞකාවේ අණදෙන නිලධාරි සමඟින් එහි නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.
මෙම අවස්ථාවට විශ්‍රාමික නාවික හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, තුර්කි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Servet Okumus සහ සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.