ශ්‍රී ලංකාවේ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023 - 2030 එලිදකී

ජුනි 16, 2025

ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023 - 2030 එළිදැක්වීමේ වැඩමුළුව අද (ජුනි 16) දින කොළඹදි පැවැත්විණ. මෙම වැඩමුළුව රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් සිදුවිය.

වැඩමුළුවේ ප්‍රධාන දේශනය ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් පවත්වන ලදි. මෙහිදී ඔහු අවිනිශ්චිත ලෝකයක පැවැත්ම සහ සමෘද්ධිය සඳහා ඉදිරි සැලැස්මක් ලෙස ජාතික ආපදා කළමනාකරණ සැලැස්මෙහි පරිවර්තනීය ස්වභාවය සඳහන් කරමින් ඉදිරි සැලැස්ම විස්තර කල අතර, ආපදාවන්ට අපගේ සංවර්ධන සිහින කඩාකප්පල් කිරීමට ඉඩ දෙනවාද නැතහොත් අභියෝග අවස්ථා බවට පරිවර්තනය කර ගනිමින් එම අභියෝග සඳහා මුහුණදිය හැකි ශක්තිමත් ප්‍රජාවක් ගොඩනංවනවාද යන්න සඳහන් කරමින් අර්ථවත් හා කාලෝචිතව දේශනය සිදුකරන ලදි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) විසින් ආරම්භක දේශනය පැවත්වූ අතර, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩබලන දේශීය අධ්‍යක්‍ෂිකා Anita Hirsch මහත්මිය, ගෝලීය ආපදා අවදානම් ප්‍රවණතා ඉස්මතු කරමින් රැස්ව සිටි පිරිස ඇමතුවාය.

මෙම වැඩසටහන න්‍යාය පත්‍රයට අනුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම, මෙහෙයුම් පද්ධතිය සහ ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සහ අධීක්‍ෂණ සහ විමර්ශන රාමුව පිළිබඳ අවබෝධයකින් අන්තර්ගත විය. විශේෂයෙන්ම කණ්ඩායම් සාකච්ඡා සහ ක්‍රියාකාරී සැලසුම් සැසිය පුරා පැවති අතර, එහිදී සහභාගිවන්නන් ප්‍රධාන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය දුන් ලබාදෙමින් ක්‍රියාත්මක කිරීමේ කාල රාමු හඳුනාගෙන එවා සටහන් ගත කිරීමද සිදුවිය.

ආරක්‍ෂිත ශ්‍රී ලංකාවක් සඳහා වූ සාමූහික කැපවීම සැමරීම සහ එකමුතුකමේ සංකේතාත්මක අභිනයකින් යුතුව, අධ්‍යක්‍ෂ (සූදානම්) චතුර ලියනආරච්චිගේ මහතාගේ සමාප්ති දේශනයකින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (සූදානම්) උද්‍යා අබේසිංහ මහත්මිය සිදුකරන ලද ස්තූති කතාවෙන් මෙම සැසිය නිමා විය.

නාවික හමුදාපති, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, අධ්‍යක්‍ෂ ජනරාල් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ද වැඩමුළුවට එක් වූහ.