මාධ්‍ය නිවේදනය

ජුනි 26, 2025

තැනැතන් වෙළදාම (Human Trafficking) ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ අන්තර් ජාතික ප්‍රජාවටම අභියෝගයක් බවට පත්වී ඇති ලෝකයේ වේගයෙන්ම පැතිරයන සංවිධානාත්මක අපරාධයක් ලෙස හදුනා ගෙන ඇත. 

මෙහිදී වැඩිහිටි කාන්තාවන් හා පිරිමින් මෙන්ම, ගැහැණු හා පිරිමි දරුවන් යන සියලු තැනැත්තන් කිසිදු වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පෞද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් විකිණීමට ලක්වන අතර එවැනි රැවටීම්වලට හසුවන අයවලුන් ගණිකා වෘත්තියේ යෙදවීම, වෙනත් ලිංගික සූරාකෑම්වලට ලක් කිරීම, වහල් සේවයේ යෙදවීම, ශරීර අංග ඉවත්කර විකිණීම, බලහත්කාරයෙන් විවිධ ව්‍යාපෘතිවල සේවයේ යෙදවීම, ශ්‍රමය සූරා කෑමට ලක්කිරීම, කුලී හේවායන් වශයෙන් හමුදා සේවයන්හි යෙදවීම, සයිබර් අපරාධ සහ වෙනත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාවල යෙදවීම වැනි ක්‍රියාවල යෙදවීම සිදු වේ.

මෙම ජාත්‍යාන්තර අභියෝගයන්ට සාර්ථකව හා සංවිධානාත්මකව මුහුණදීම සඳහා සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) හා තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය (NAHTTF) එක්ව ජපාන රජය සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකික පුරවැසියන් මෙම බරපතල අපරාධවලට ගොදුරු වීම වැළැක්වීමේ පරමාර්ථය පෙරදැරිව මහජනතාවගේ දැනුම්වත්භාවය ඉහල නැංවීම සඳහා ජනමාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. 

ඒ අනුව, මෙම අපරාධයේ ස්වභාවය හා වින්දිතයන් හට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත අත්දැකීම්, නිරූපණය වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ උපදේශානාත්මක කෙටි වීඩියෝ හා හඩපට මාලාවන් රූපවාහිනී, රේඩියෝ, සමාජමාධ්‍ය හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයන් හරහා ප්‍රචාරණය කිරීමට තිරණය කර ඇත. 

මෙම නව්‍ය මුලපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම අපරාධය පිටුදැකීමේ ක්‍රියාවලියේදී නිවාරණය යනු ඉතා වැදගත් අංගයක් වන බවත්, ජනතාගේ දැනුවත්භාවය ඉහල නැංවීම තුළින් රටේ පුරවැසියන් මෙන්ම, විදේශිකයින් අපරාධකරුවන්ගේ රැහැනින් මීදීමට සැළැස්වීම හා ආරක්‍ෂාව තහවුරු කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණු බවත්, තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානී හා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා අවධාරණය කරන ලදි. 

එමෙන්ම, මෙම වැඩසටහනේ තවත් වැදගත් අරමුණක් වනුයේ, තැනැත්තන් වෙළදාමේ නිරත වන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්ව සිටින වින්දිත පාර්ශ්වයන් හෝ එවැනි අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති පුද්ගලයන් හට මෙම අපරාධවලට එරෙහිව නොබියව නැගී සිටිමින් ඔවුන්ගේ හඩ අවධි කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. 

දැනුවත් වන්න, අවදියෙන් සිටින්න, වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න

Minoli Don මහත්මිය, - ආරක්‍ෂණ ඒකකයේ ප්‍රධානී, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (ශ්‍රී ලංකාව) දුරකථන අංකය - 0094 777 409 409 විද්‍යුත් තැපැල් ලිපිනය - mdon@iom.int
තැනැත්තන් වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය - දුරකථන අංකය - 0768447700
අසෙල් කුලරත්න මහතා, - සන්නිවේදන නිලධාරී, සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය 
(ශ්‍රී ලංකාව) විද්‍යුත් තැපැල් ලිපිනය - akularatne@iom.int