තුවාල ලැබූ ‘භාතිය’ හස්තියාට ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

ජුලි 06, 2025

මීට මාස දෙකකට පමණ පෙර වෙඩි වැදීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් නිකවැරටිය මානිගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘භාතිය’ නමින් ප්‍රකට ඇතෙකු දින කිහිපයක සිට එම ප්‍රදේශයේ ජලය පිරිනු වළකට වැටී අනතුරකට ලක් විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත අලියාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව, වනජීවී නිලධාරින් පැමිණෙන තෙක් 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම සත්වයාට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීම සඳහා යොදවා තිබූ අතර දහවල් කාලය තුළ පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් එම සත්වයා වෙහෙසට පත්වන අයුරු දුටු යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ප්‍රථමයෙන් එම සත්වයාගේ ශරිරයට ජලය දැමීමට පියවර ගත් අතර, අනතුරුව අධික හිරු රෂ්මිය වැටීම වලක්වා ගැනීම සඳහා එම සත්වයාට ඉහලින් තාවකාලික ආවරණයක් ඉදිකරන ලදී.

තවද, එම හස්තියා වල මැදට ලිස්සා යාම වැළැක්වීමට සහ හිසට ආධාරකයක් වශයෙන් භටපිරිස් විසින් එම හස්තියා අසලින් වැලි කන්දක් ගොඩනගන ලදී. තවදුරටත් යුද්ධ හමුදා භටපිරිස් එම ස්ථානයේ රැදී සිටිමින් වනජීවී නිලධාරින් සමඟ සහයෝගයෙන් එම සත්වයා ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටිති.

අනුග්‍රහය - www.army.lk