ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර්
එෆ්. ජෝසප් සිය ධූරයේ වැඩ භාරගනී

ජුලි 25, 2025

බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් යූඑස්පී පසුගිය අඟහරුවාදා (ජූලි 22) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නිල වශයෙන් සිය රාජකාරී භාර ගත්තේය. මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ඔහු මෙම ධූරයේ වැඩ භාර ගන්නා ලදී. 

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තීය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුලින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් සිදු කල කීර්තිමත් යුද්ධ හමුදා නිලධාරියෙකි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස විශිෂ්ඨ සේවයක් සිදු කළේය.