තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ වරද සම්බන්ධයෙන් කම්කරු නිළධාරීන් දැනුවත් කෙරේ

ජුලි 30, 2025

තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය, කම්කරු අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමඟ එක්ව, බලහත්කාරයෙන් ශුමිකයින් ලෙස යෙදවීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා දින තුනක පුහුණු වැඩසටහනක් අද (ජූලි 30) කොළඹ ටාජ් සමූද්‍රා හෝටලයේදී ආරම්භ කරන ලදි. 

වැඩ සටහනේ ආරම්භක අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස මහතා, කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නදීකා වටලියද්ද මහත්මිය, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය නියෝජනය කරමින් අනූප් සත්පති මහතා, නවදිල්ලියේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කාර්යාලයේ තාක්‍ෂණික සහාය කණ්ඩායමේ මූලික මූලධර්ම සහ රැකියා අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ නිසාම් ඉන්සාෆ් මහතා, කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින්, කම්කරු දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරී කමිටුවේ ප්‍රධානී තුමා, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ ලේකම් හා සම්බන්ධීකරණ කමිටුවේ සියළුම සාමාජිකයින් සහභාගී විය. 

මෙම පුහුණු වැඩසටහන සඳහා, නීතිපති දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ යටතේ, තැනැත්තන් වෙළෙඳාම සම්බන්ධ පුහුණු මොඩියුලයක් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය විසින් සකස් කර හඳුන්වා දෙන ලදි. තැනැත්තන් වෙළෙඳාමේ වින්දිතභාවයට පත්වීම වැළැක්වීම සහ වින්දිතයින් හඳුනා ගැනීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්, රජයේ නිලධාරීන් සඳහා මෙම පුහුණු මොඩියුලය සැලසුම් කර ඇත.

සමාරම්භක උත්සවයේදී ආරක්‍ෂක ලේකම් සහ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මෙම උපායමාර්ගික මුලපිරීම වැදගත් බව අවධාරණය කල අතර, තැනැත්තන් වෙළෙඳාම බොහෝවිට ශ්‍රම සූරාකෑම සඳහා බඳවා ගැනීම, වැටුප් අත්හිටුවීම් සහ බලහත්කාර කොන්ත්‍රාත්තු පිටුපස සැඟවී ඇති අතර, කම්කරු නිලධාරීන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී ඉටු කිරීමේදී එවැනි සැඟවුණු ශ්‍රම සූරාකෑම් හඳුනා ගැනීමේ හැකියාව ඇති බවද, පෙන්වා දෙන ලදි. තවද, “මෙය විධිමත් උපායමාර්ගික මැදිහත්වීමක් වන අතර, කම්කරු නිලධාරීන්ගේ නිරීක්‍ෂණය වින්දිතයකුගේ නිදහස ආරක්‍ෂා කිරීමේ මූලාශ්‍රයක්” බවද, පවසන ලදි.

මෙම මුලාරම්භය ශ්‍රම සූරාකෑම සහ තැනැත්තන් වෙළෙඳාම අතර ඇති පුළුල් සම්බන්ධතාවය අවධාරණය කරන අතර, සුපරීක්‍ෂාකාරිත්වය, සම්බන්ධීකරණය සහ අන්තර් ආයතන සහයෝගීතාව ශක්තිමත් කරන අතර, හඳුනාගැනීම, යොමු කිරීම් සහ වින්දිතයින්ගේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා අදාළ අමාත්‍යාංශයන්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් හා එක්ව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ පුළුල් අරමුණු ක්‍රියාත්මක කිරීමටද, ඉවහල් වනු ඇත.

අවසාන වශයෙන්, ආරක්‍ෂක ලේකම්තුමන් විසින් තැනැත්තන් වෙළෙදාමේ වින්දිතභාවයට පත්වන්නන්ට ඇති වන අහිතකර බලපෑම පිළිබඳව සහභාගිවූවන්ට පෙන්වා දුන් අතර, ඔවුන් වෙත සහකම්පනයෙන් සහ කැපවීමෙන් රාජකාරි කටයුතු ඉටු කරන ලෙස සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටින ලදි.