එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

අගෝස්තු 14, 2025

මෙරට එක්සත් රාජධානි තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස නව පත්වීම් ලැබු කර්නල් Keith Miles අද (අගෝ 14) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

එම හමුවට නව ආරක්‍ෂක උපදේශක සමගින් නික්ම යන ආරක්‍ෂක උපදේශක කර්නල් Darren Woods ද එක් වු අතර, එහිදී ආරක්‍ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සහ දෙරටේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා නව මාර්ග සොයාබැලීම ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කරන ලදි. තවද, දිගුකාලීන ආරක්‍ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන ආකාරයන් පිළිබඳව ද සාකච්ඡා වු අතර, කලාපීය ස්ථාවරත්වය සහ ආරක්‍ෂාව සඳහා වූ දෙපාර්ශවයේ කැපවීම ද නැවත තහවුරු කිරීම ද සිදුවිය. 

එහිදී, නවතමයෙන් ශ්‍රී ලංකාවේ නිල රාජකාරි ආරම්භ කල කර්නල් Miles හට ආරක්‍ෂක ලේකම්වරයා සිය සුභ පැතුම් එක් කළ අතර, එක්සත් රාජධානිය විසින් ලබා දෙන ලද තිරසාර සහයෝගය සහ හවුල්කාරිත්වයට කෘතඥතාව පළ කිරීමද සිදුවිය. 

එමෙන්ම, නික්ම යන ආරක්‍ෂක උපදේශක කර්නල් Woods සිය ධුර කාලය තුළ ලබා දුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, ඔහුගේ අනාගතය වෙනුවෙන් සුබ පැතුම් ද එක් කළේය.