ඉන්දු - ශ්‍රී ලංකා නාවික සබඳතා ශක්තිමත් කරමින්
‘‘SLINEX-25’’ නාවික අභ්‍යාසය ඇරඹේ

අගෝස්තු 15, 2025

ඉන්දු - ශ්‍රී ලංකා ප්‍රමුඛතම ද්විපාර්ශ්වික නාවික හමුදා අභ්‍යාසයක් වන "SLINEX - 25" පසුගිය බ්‍රහස්පතින්දා (අගෝ. 14) දින කොළඹ වරායේදී නිල වශයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාවේ පැවති එම සමාරම්භක උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්, ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් - මෙහෙයුම්, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

12 වන වරටත් වාර්ෂිකව පැවැත්වෙන එම නාවික අභ්‍යාසයේ මෙම වසරේ සත්කාරකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දරනු ලබයි. මෙම ඒකාබද්ද අභ්‍යාසය මගින් ඉන්දු ශ්‍රී ලංකා දිගු කාලින ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කිරීම, අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනැගීම සහ දෙරටේ නාවික හමුදා අතර, උපායශීලී අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම අරමුණු කෙරේ. එමෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂක අභියෝගවලට සාමූහිකව ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ලද සම්බන්ධීකරණ මෙහෙයුම් අභ්‍යාස මාලාවක් මීට ඇතුළත් වේ.

මෙම නාවික අභ්‍යාසය සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් INS Jyoti සහ INS Rana යන යුධ නෞකා ද්විත්වය කොළඹ වරායට සේන්දුවිය. ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් SLNS විජයබාහු සහ SLNS සයුර යන නෞකා මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහයෝගය හා සහභාගිත්වය තුලින්, පුළුල් විෂය පථයක් ඔස්සේ අභ්‍යාසය සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කොට ඇත.

SLINEX සමාරම්භක නාවික හමුදා අභ්‍යාසය 2005 වර්ෂයේ දී කොළඹ පැවති අතර, මේ දක්වා මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය දෙරටේ මුහුදු තීරයන් ආශ්‍රිතව පවත්වා ඇත. දිගු කාලීන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ඔස්සේ විශේෂයෙන් මුහුදු කොල්ලකෑම්, නීතිවිරෝධී වෙළදාම්, ජාවාරම් සහ මසුන් ඇල්ලීම ඇතුළු සාම්ප්‍රදායික මෙන්ම, නුතන සමුද්‍රීය තර්ජන වලින් ඉන්දියානු සාගර කලාපය ආරක්‍ෂා කිරීම සඳහා වූ හවුල් කැපවීමක් වශයෙන් මෙම අභ්‍යාසය වැදගත් වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින්, නාවික අභ්‍යාසය සදහා සහභාගී වන නෞකා වල අණදෙන නිලධාරීන් සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක් SLINEX-25 නාවික අභ්‍යාසයේ සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වූහ.