නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා USS “Santa Barbara”
නෞකාවේ සංචාරයක

අගෝස්තු 16, 2025

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමින කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ Independence-class Littoral Combat Ship කාණ්ඩයට අයත් USS “Santa Barbara” (LCS 32) නෞකාවෙහි නිල සංචාරයක් සඳහා නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අද (අගෝ. 16) දින එහි ගියේය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ ද, නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ එක් වූහ. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින සමීප සහ සහයෝගී සබඳතා තවදුරටත් පිළිබිඹු කරමින් ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung මැතිණිය සහ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House විසින් සම්භාවනීය අමුත්තන් පිළිගනු ලැබීය.

සමුද්‍රීය ආරක්‍ෂාව සඳහා වන ශ්‍රී ලංකාවේ සහ ඇමරිකානු ආරක්‍ෂක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ප්‍රවර්ධනය, කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සහ දෙරට අතර තාක්‍ෂණික හුවමාරු සහයෝගීතාවය සඳහා වන නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම සඳහා මෙම නෞකාවේ සංචාරය උපකාරී වනු ඇත. USS “Santa Barbara” නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් Adam J. Ochs විසින් නෞකාව සතු උසස් තාක්‍ෂණික හා යුධමය හැකියාවන් මෙන්ම, මොඩියුලර් මෙහෙයුම් පද්ධති පිළිබඳ පුළුල් විස්තරයක් ලබා දුන්නේය.

මෙම අවස්ථාව USS “Santa Barbara” නෞකාව කොළඹට පැමිණි පළමු නිල සංචාරය වශයෙන් නාවික ඉතිහාසයට එක්වන අතර, එය ඇමරිකා එක්සත් ජනපද - ශ්‍රී ලංකා ශක්තිමත් ද්වීපාර්ශ්වික හවුල්කාරිත්වය මෙන්ම ආරක්‍ෂිත, සමෘද්ධිමත් සහ නිදහස් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා වන හවුල් කැපවීම අවධාරණය කරයි.