ආරක්‍ෂක අමාත්‍යාංශය Sri Lanka’s Digital Blueprint සැලැස්ම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

සැප්තැම්බර් 08, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව, “Sri Lanka’s Digital Blueprint” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (සැප්තැම්බර් 03) වන දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ නන්දිමිත්‍ර ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම වැඩසටහන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි,  ආරක්‍ෂක ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කල අතර, රජයේ ඩිජිටල් පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ උපායමාර්ගික අවබෝධයක් ලබා දීම සහ ආරක්‍ෂක අංශය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සමඟ පෙළගැස්වීමේ මාර්ග ගවේෂණය කිරීම අරමුණු කරගෙන පවත්වන ලදි. මෙම වැඩසටහන සඳහා  ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මෙහෙයවන ලදී.

මෙම වැඩසටහන සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහ අනුබද්ධ සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූ අතර, ඒ අතරට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා, ICTA හි ප්‍රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අධ්‍යක්‍ෂ චානකි මල්ලිකාරච්චි මහත්මිය ද ඇතුළත් විය.

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා විසින් මෙම වැඩමුලුවේ ප්‍රධාන දේශනය පවත්වමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික මාර්ග සිතියම ගෙනහැර දැක්වීය. එහිදී ඔහු අවධාරණය කළේ, දියුණු රටවලදී ඩිජිටල් ක්‍රියාකාරකම් ආර්ථිකයට 20-25% ක් පමණ දායක වන අතර, ශ්‍රී ලංකාවේ එම දායකත්වය දැනට සීමා වන්නේ 3-5% දක්වා පමණක් බවය. එමඟින්, මෙරට ඩිජිටල් පද්ධතිගත වීමේ ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කිරීම තුළින්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය වාර්ෂිකව අමතර ප්‍රතිශත  2-3 ක් දක්වා ඉහළ නැංවිය හැකි දැඩි හැකියාවක් පවතින බවද, ඔහු පෙන්වා දුන්නේය.

ආචාර්ය විජයසූරිය අවධාරණය කළේ ජාතික ප්‍රතිපත්තියෙහි සම්ප්‍රදායික සීමාවන් පසුකරමින් ඩිජිටල් පරිවර්තනය ප්‍රමුඛස්ථානයට ඉදිරිපත් කළ යුතු බවය. එය ආයෝජන මත උපරිම ප්‍රතිලාභ (ROI) ලබාදීම, තාක්‍ෂණික ක්‍රියාත්මක භාවිතයේ තිරසාරභාවය සහතික කිරීම සහ මූල්‍ය සීමා පාලනය කිරීම සඳහා විවෘත රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව (PPPs) ආකෘති උපයෝගී කර ගැනීම වැනි උපායමාර්ගික ප්‍රමුඛතා මඟින් සවිබල ගැන්විය යුතු බවද, ඔහු සඳහන් කළේය. ඊට අමතරව, ඩිජිටල් ආවරණය සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා, ප්‍රවේශය, කාර්යක්‍ෂමතාව සහ විශේෂයෙන්ම පුරවැසි හා ව්‍යාපාරික අත්දැකීම් සියලුම ඩිජිටල් මුලපිරීම්වල කේන්ද්‍රස්ථානය විය යුතු බව ඔහු අවධාරණය කළේය.

ඔහු පැහැදිලිව අවධාරණය කළේ, සම්ප්‍රදායික සිරස් වේදිකා ආකෘතිය වෙනුවට තිරස් වේදිකා උපරිම කිරීම හරහා “සැලසුම අනුව” ආරක්‍ෂාව, විශ්වාසය සහ පරිශීලක විවෘතභාවය පදනම කර ගනිමින්, ආරක්‍ෂිත, අන්තර් ක්‍රියාකාරී සහ විවෘත පද්ධති පවත්වාගෙනයාමේ මූලිකත්වයය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් උපායමාර්ගය වඩාත් කඩිසර සහ ඔරොත්තු දිය හැකි බවක් ලබා දීම සඳහා, AI-first, Cloud-first සහ Mobile-first ප්‍රමුඛතා යටතේ මෙහෙයවිය යුතු බවද, ඔහු අවධාරණය කළේය.

ඔහුගේ දේශනය තුළ ප්‍රධාන අවධානය යොමු වුණේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සංවර්ධනය කිරීමෙහි අත්‍යවශ්‍යභාවය පිළිබඳවය. මෙය පුරවැසියන්, ව්‍යාපාරික ආයතන සහ සංචාරකයන් සඳහා විශ්වාසනීය, ඒකාබද්ධ ඩිජිටල් හැඳුනුම්පතක් සැපයීමත්, ආයතන අතර විශ්වාසදායක සහ කැමැත්ත මත පදනම් වූ දත්ත හුවමාරුවක් සක්‍රීය කිරීමට ජාතික සම්මේලන දත්ත හුවමාරුවක් පිහිටුවීමත් යටිතල වශයෙන් ඇතුළත් වේ. එමෙන්ම,  රාජ්‍ය සහනාධාර සහ සේවා ප්‍රවාහයන් විනිවිද සහ කාර්යක්‍ෂම කිරීම සඳහා ඩිජිටල් වවුචර් සහ ගෙවීම් ක්‍රමවේදයන් හඳුන්වාදීම, වංචා අවම කර විශ්වාසය වර්ධනය කිරීම, සහ සීමාකිරීම් සහිත ක්‍රියාවලීන් සිවිල් හා ආරක්‍ෂක ක්ෂේත්‍ර දෙකම තුළ ක‍්‍රමවත් කිරීම සඳහා රියදුරු බලපත්‍ර, සහතික සහ සේවා හැඳුනුම්පත් වැනි සත්‍යාපනය කිරීමේ ක්‍රමවේදයන්ද DPI යටතේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් ඔහු සඳහන් කළේය.

ආරක්‍ෂක සයිබර් විධාන අධ්‍යක්‍ෂවරයා විසින්  importance of cyber readiness and the integration of defence into Sri Lanka’s wider digital journey මැයෙන් පවත්වන ලද සමාප්ති අදහස් දැක්වීමෙන් වැඩසටහනේ කටයුතු නිමා විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව රජයේ ජාතික ඩිජිටල් උපාය මාර්ගය සමඟ පෙළගැස්වීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කළේය. ආර්ථික වර්ධනය, කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ ආරක්‍ෂක හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල් පරිවර්තනයේ තීරණාත්මක කාර්යභාරය එය ශක්තිමත් කළේය.