ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 81 වැනි සංවත්සර උත්සවයට සහභාගි වේ

සැප්තැම්බර් 28, 2025

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ 81 වැනි සංවත්සර උත්සවය අද (සැප්තැම්බර් 28) දින කොළඹ Grand Maitland උත්සව ශාලාවේදී පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගි විය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) විසින් උත්සවයට සහභාගි වූ ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට එවකට ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් දැක්වූ නිවැරදි නායකත්වය හා තීරණ මෙන්ම ක්‍රමානුකූලව ක්‍රියාත්මක කල සැලසුම් හේතු වූ බව ප්‍රකාශ කළේය. තවද, මාතෘභූමියේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා සාමය වෙනුවෙන් විශ්‍රාමික හා සටනේදී මියගිය සියලු රණවිරුවන් සිදුකල අප්‍රමාණ කැපකිරීම් හා අමිල සේවය වෙනුවෙන් සිය කෘතවේදීත්වය ද පළ කළේය.

එමෙන්ම, තිරසාර සංවර්ධනයක් කරා රට ඉදිරියට ගමන් කරන පසුබිමක යුධ ප්‍රවීණයන්ගේ අත්දැකීම් හා දැනුම ඔස්සේ වත්මන් තරුණ ප්‍රජාව දිරිගැන්වීම හා ඔවුන්ට මඟපෙන්වීම අත්‍යවශ්‍ය වන බවත්, ඒ තුලින් දේශප්‍රේමී හා විනයගරුක රටක් බිහිකළ හැකි බවත් දක්වා සිටියේය.

විශ්‍රාමික රණවිරුවන්, යුද ගැටුම් හේතුවෙන් විවිධ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ රණවිරුවන් හා රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනාගේ සුබසාධනය වෙනුවෙන් ඉටු විය යුතු වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට වත්මන් රජය කැපවීමෙන් ක්‍රියා කරන බව දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, පසුගිය දිනවල පැවති මහජන දින වැඩසටහන්වලදී, ඔවුන් විසින් ඉදිරිපත් කල ගැටළු හා අභියෝග පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට හා අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල නිර්දේශය සඳහා ඉදිරිපත් කොට ඇති බව ද ප්‍රකාශ කළේය.

සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ සාමාජිකයන් වෙත ගෞරවාන්විත සේවා පදක්කම් ප්‍රදානයක් ද, සංගමයේ වත්මන් සාමාජිකයන් වෙත 'යාවජීව සම්මානය' ලාංජන පිරිනැමීම ද සිදු කෙරුනු අතර, කුවින්ටස් අන්ද්‍රාදි මහතා සහ රියර් අද්මිරාල් අනිල් බෝවත්ත (විශ්‍රාමික), කපිතන් ඩී විජේසිංහ ශ්‍රීලංඉ (විශ්‍රාමික), කපිතන් අයිඒ සිරිසේන (විශ්‍රාමික) යන නිලධාරීන් සංගමය වෙනුවෙන් සිදු කලා වූ විශේෂ සේවාවන් ඇගයීමකට ලක් කරමින් විශේෂ ගෞරව සම්මාන ප්‍රදානයට ලක් කිරිමද මෙම අවස්ථාවේ සිදුවිය.

මෙම අවස්ථාවට විශ්‍රාමික ත්‍රිවිධ හමුදාපතිවරු, ගුවන් හමුදාපති, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.