නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක
සැප්තැම්බර් 24, 2025නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (සැප්තැම්බර් 23) දින කොළඹ වරායේ දී ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SATPURA’ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
ඉන්දීය නාවික හමුදාවේ Frigate කාණ්ඩයට අයත් ‘INS SATPURA’ නෞකාව, එහි සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් පසුගියදා (සැප්තැම්බර් 20) උදෑසන දිවයිනට ළඟා වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ තානාපති ගරු Santosh Jha මැතිතුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Vikas Garg විසින් නෞකාව වෙත පැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
නෞකාවේ අණදෙන නිලධාරී විසින් නෞකාවේ හැකියාවන් පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදු කිරීමෙන් අනතුරුව රැස්ව සිටි අමුත්තන් නෞකාවේ සංචාරයක නිරත වුහ. අනතුරුව විචිත්‍රවත් ඉන්දීය සම්ප්‍රදායික අංගයන්ගෙන් සමන්විත වූ සංස්කෘතිකමය ඉදිරිපත් කිරීමක් සහ ප්‍රිය සම්භාෂණයක් ද, පැවැත්විණ. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින්, නාවික හමුදාපති හා ගුවන් හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම, විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉන්දීය නාවික හමුදා නෞකාව ශ්‍රී ලංකාවේ සිදු කළ මෙම නිළ සංචාරය ඔස්සේ අතීතයේ පටන් මේ දක්වා ශක්තිමත්ව පවතින ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා මෙන්ම, කලාපීය ආරක්‍ෂක සහයෝගිතාවය සඳහා වන දෙපාර්ශවයේ කැපවීම යලිත් තහවුරු කරයි.