ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 36 වැනි උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී

ඔක්තෝම්බර් 15, 2025

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 36 වැනි උපාධි ප්‍රදානෝත්සවය ඊයේ (ඔක්තෝබර් 14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් වු අතර, එය එම විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබීය.

උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහභාගී වූහ.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරල් ශාන්ත කොට්ටේගොඩ (විශ්‍රාමික) සහ උපකුලපති රියර් අද්මිරාල් දම්මික කුමාර විසින් මෙම අවස්ථාවට පැමිණි ගෞරවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ උපාධි සම්පූර්ණ කළ උපාධිධාරීන් සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 1883 දෙනෙකු වෙත ඔවුන් දැක්වූ අධ්‍යයන විශිෂ්ටත්වය සහ දැනුම වර්ධනය සඳහා වූ කැපවීම සංකේතවත් කරමින්, උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පිරිනමන ලදි. ඔක්තෝබර් 13 සහ 14 දෙදින පුරා පැවති මෙම උපාධි ප්‍රදානෝත්සවයේ අවසන් සැසියේදී උපාධිධාරීන් 155 දෙනෙකු වෙත උපාධි සහතික පිරිනැමීම සිදුකරන ලද අතර, විශෙෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් උපාධි සහතික මෙන්ම විශේෂ ඇගයීම් ද පිරිනැමිණි.

එහිදී උත්සව සභාව ඇමතූ, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික), සිය අධ්‍යයන කටයුතු වෙනුවෙන් උපාධිධාරීන් දැක්වූ නොපසුබට උත්සාහය සහ කැපවීම අගයනු ලැබූ අතර, තම දැනුම වගකීමෙන් යුතුව භාවිත කරමින් අපගේ ජාතියට සේවය කළ යුතු බව ඔවුන් හට සිහිපත් කළේය. අධ්‍යාපනය, නවෝත්පාදනය සහ ජාතික සංවර්ධනය අතර ඇති තීරණාත්මක සම්බන්ධය අවධාරණය කළ ඔහු, “දැනුම යනු බලයයි, නමුත් දැනුම බලවත් වන්නේ එය මානව වර්ගයාට සහ ජාතික ප්‍රගතියට සේවය කිරීමට යොදා ගත් විට පමණි,” යනුවෙන් ප්‍රකාශ කළේය.

එමෙන්ම නව පර්යේෂණ සහ නවෝත්පාදන ශක්තිමත් කිරීමට රජය විසින් දරණ අඛණ්ඩ උත්සාහයන් පිළිබඳ කරුණු ඉස්මතු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව දැනුම මත පදනම් වූ ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ඉදිරි ජාතික පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිපත්තිය හරහා අධ්‍යයන ප්‍රතිඵල ජාතික ප්‍රමුඛතා සමඟ පෙළගැස්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

තවද, ආර්ථික ස්ථාවරත්වය ජාතික ආරක්‍ෂාවේ පදනම බව සිහිපත් කළ ඔහු, අඛණ්ඩතාව, නායකත්වය සහ නිශ්චිත අරමුණකින් සේවය කරමින් ජාතිය ගොඩනැගීමට දායක වන ලෙස උපාධිධාරීන් වෙත සිහිපත් කළේය.

මෙම අවස්ථාවට නාවික හා ගුවන් හමුදාපතිවරුන්, විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති, හිටපු කුලපතිවරුන් හා උපකුලපතිවරුන් මෙන්ම විශ්වවිද්‍යාලයේ පීඨ හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්, උපාධිධාරීන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් ද සහභාගී වූහ.