ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ‘‘JMSDF AKEBONO’’ නෞකාවේ සිදුකළ
සංචාරයේදී ජපන් ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගිතාව යළි තහවුරු කරයි
ඔක්තෝම්බර් 29, 2025
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), ඊයේ (ඔක්තෝබර් 28) සන්ධ්‍යාවේ කොළඹ වරායට ළඟා වූ 'JMSDF AKEBONO' ජපාන යුධ නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවකට සහභාගී වූහ.
මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ජපාන සාගර ස්වයංආරක්‍ෂක බලකායට (JMSDF) අයත් destroyer කාණ්ඩයේ AKEBONO (DD 108) නෞකාව ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට සේන්දු විය.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු Akio ISOMATA මැතිතුමා සහ නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ARAI Katsutomo විසින් නෞකාව නැරඹීමට පැමිණි සම්භාවනීය අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික), නෞකාවේ පැවති උත්සවයේ ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී රැස්ව සිටි පිරිස අමතමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළාරක්‍ෂක හැකියාවන් ඉහළ නැංවීම සඳහා මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ මැඩලීම සඳහා ජපාන රජය විසින් ලබා දෙන දිගුකාලීන හා අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළේය.
තවදුරටත්, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දෙරට අතර සිදුවූ මෑත කාලීන සුවිශේෂී සිදුවීම් ඉස්මතු කරමින් කරුණු කිහිපයක් අනාවරණය කළේය. එහිදී, සමුද්‍රීය නිරීක්‍ෂණ සහ ආපදා ප්‍රතිචාර ශක්තිමත් කිරීම අරමුණු කරගත් Official Security Assistance (OSA) වැඩසටහන යටතේ, ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 500ක් වටිනා උසස් තාක්‍ෂණික නියමුවන් රහිත ගුවන් යානා (UAV) ප්‍රදානය කිරීම පිළිබඳව විශේෂයෙන් සඳහන් කළේය. එසේම, ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා, සාගර නීතිය බලාත්මක කිරීම සහ මත්ද්‍රව්‍ය පාලන මුලපිරීම් සංවර්ධනය වෙනුවෙන් JICA සහ UNODC හරහා ජපාන රජය විසින් ලබා දෙන හවුල්කාරිත්වය ද ඔහුගේ ප්‍රශංසාවට ලක් විය.
එමෙන්ම, ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරය සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ජපාන රාජ්‍ය සංචාරය ඇතුළු දෙරට අතර මෑතකදී පැවති ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය. මෙම සංචාරයන්ට සමගාමීව දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් වන ප්‍රධාන ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම ද සිදුකෙරිණ.
එමෙන්ම, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා දෙරට අතර ශක්තිමත් සමුද්‍රීය හවුල්කාරිත්වයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරුන් හා නිලධාරීන්, මෙරට තානාපති කාර්යාල නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ගෞරවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.