ශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීම සඳහා “වන සුරැකුම”
ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය දියත් කෙරේ

නොවැම්බර් 03, 2025

ශ්‍රී ලංකාවේ ස්වාභාවික වන සම්පත ආරක්‍ෂා කර ගැනීම සහ වනාන්තර ආශ්‍රිත අපරාධ මැඩලීම අරමුණු කරගනිමින් "වන සුරැකුම" ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (ඔක්තෝබර් 3) දින පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී දියත් කරන ලදි. 

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති "වන සුරැකුම" ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට නියෝජ්‍ය පරිසර අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මැතිතුමා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද එක්ව සිටියහ.

මෙම නව මෙහෙයුම් ඒකකය පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ ඔස්සේ බහුවිධ ආයතන ඒකාබද්ධ කරමින් ශක්තිමත් ආරක්‍ෂක ජාලයක් ගොඩනඟනු ලබයි. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් මෙම ඒකකය සමන්විත වේ. මෙම ඒකාබද්ධ ප්‍රවේශය තුළින්, වනාන්තර ආශ්‍රිතව සිදු වන අපරාධ පිළිබඳ තොරතුරු රැස් කිරීමේ සිට ක්ෂණික මෙහෙයුම් සිදුකිරීම දක්වා වූ කාර්යයන් වඩාත් සාර්ථකව සම්බන්ධීකරණය කිරීමටත්, රටේ වන සම්පතට එල්ල වන තර්ජනවලට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානතම අංගයක් වශයෙන් මහජනතාවගේ සහභාගීත්වය තුළින් වන අපරාධ පිළිබඳ තොරතුරු රැස් කිරීම සිදුකෙරේ. ඒ සඳහා මෙම ඒකකය තුළ 1995 කෙටි දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරාවට ක්‍රියාත්මක වන ක්ෂණික ඇමතුම් සේවාවක් ද හඳුන්වා දී තිබේ. එමගින් මහජනතාවට වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිත වනජීවීන්ට සිදු වන හානි පිළිබඳව විශ්වසනීයත්වයෙන් හා තම පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන පරිදි මෙම ඒකකයට තොරතුරු ලබාදීමට අවස්ථාව සැලසේ. මෙලෙස ලැබෙන දත්ත සහ තොරතුරු ඒකාබද්ධ කිරීම, වර්ගීකරණය කිරීම සහ විශ්ලේෂණය කිරීම තුළින් වනාන්තර ආශ්‍රිත අපරාධ සිදුවන ප්‍රදේශ හඳුනාගෙන, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපායමාර්ග සකස් කෙරේ.

එපමණක් නොව, වනාන්තරවල නීතිවිරෝධී ක්‍රියා සිදුකරන අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා නවීන තාක්‍ෂණික ක්‍රමවේද භාවිත කිරීමට ද මෙම ඒකකය කටයුතු කරයි. ඒ සඳහා නවීන ඩ්‍රෝන යානා, චන්ද්‍රිකා රූප සහ ජී.පී.එස්. වැනි තාක්‍ෂණික මෙවලම් යොදා ගනිමින් වනාන්තර කලාප නිරීක්‍ෂණය සහ අධීක්‍ෂණය කිරීම සිදුකෙරේ. හදිසි අවස්ථාවලදී, විශේෂයෙන් වනාන්තර ගිනි තැබීම්, අනවසර දැව කැපීම් සහ රක්‍ෂිත ආශ්‍රිතව සිදුවන විවිධ අපරාධවලට එරෙහිව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා මානව සම්පත්, උපකරණ සහ තාක්‍ෂණය විධිමත් ලෙස යෙදවීමට ද මෙමගින් අපේක්ෂා කෙරේ.

"වන සුරැකුම" ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය පිහිටුවීම, ශ්‍රී ලංකාවේ වනාන්තර හා ඒ ආශ්‍රිතව ජීවත් වන වනජීවී සම්පත් සංරක්‍ෂණය සඳහා ක්‍රියාත්මක කෙරෙන නව සන්ධිස්ථානයකි. මෙම නව මෙහෙයුම් ඒකකය පිහිටුවීමේ අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ, පරිසර අමාත්‍යාංශයේ, ත්‍රිවිධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.