හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට

දෙසැම්බර් 02, 2025

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර ඊයේ (දෙසැම්බර් 01) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) පිහිටුවා ඇති හදිසි ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින්, ක්‍රියාත්මක කෙරෙමින් පවතින ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සහ ජාතික ආපදා සහන ක්‍රියාන්විත ප්‍රයත්නයන් සඳහා එම මධ්‍යස්ථානයෙන් දක්වන දායකත්වය පිළිබඳ නිරීක්‍ෂණය කළේය.

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ආපදාවට ලක්ව ඇති ජනතාව වෙත සහන සැලසීම සඳහා සිය උපරිම දායකත්වය ලබා දෙන ස්වේච්ඡා කණ්ඩායම්වල සුවිශේෂී දායකත්වය විශේෂයෙන්ම තරුණ ප්‍රජාවේ කැපී පෙනෙන කැපවීම, ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළේ ය. ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම හා දායකත්වය පීඩාවට පත් ජනතාවට සැබෑම ජීවනාලියක් බවට පත් වී තිබෙන බවත් ඔවුන්ගේ ශක්තිය, කණ්ඩායම් හැඟීම මෙන්ම මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී නිර්භයව ඉදිරිපත් වෙමින් අපේම ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම අසීරු අවස්ථාවේ තම රාජකාරියෙන් ඔබ්බට ගිය මානුෂිය හැඟීමෙන් හා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කරන නිලධාරීන්, කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ස්වේච්ඡා සාමාජිකයින් සියලු දෙනා වෙත ඔවුන්ගේ සුවිශේෂී සේවය වෙනුවෙන් සිය හෘදයාංගම ප්‍රශංසාව පළ කරමින් ඇගයීමට ලක් කල අතර, ඔවුන් සියලු දෙනා එක්සත්ව සිදුකරන මෙම ප්‍රයත්නය තුලින් ශ්‍රී ලාංකික ජාතියේ දයානුකම්පාව සහ අප්‍රතිහත ධෛර්යයේ කදිම නිදසුනක් පිළිබිඹු කරන බව ද ප්‍රකාශ කළේ ය.