ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ගංවතුරින් පීඩාවට පත් අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට වියළි සලාක ඇසුරුම් පිරිනමයි

දෙසැම්බර් 08, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන්, 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ආරක්‍ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් අද (දෙසැම්බර් 08) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම අත්‍යවශ්‍ය සහන සේවාව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියගේ සෘජු මඟපෙන්වීම යටතේ සිදු කරන ලදි.

පසුගිය දිනවල දිවයිනට බලපෑ ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් ජන ජීවිතවලට බාධා එල්ල වී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත අවශ්‍ය කෙරෙන අත්‍යවශ්‍ය සහයෝගයක් ලබාදීමේ අරමුණින් මෙම සහයෝගීතාවය සිදුකරන ලදි. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා, ඉන්දිකා විජේගුණවර්ධන මහත්මිය (අතිරේක ලේකම් - සිවිල් ආරක්‍ෂක හා සංවර්ධන) ඇතුළු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූ අතර, ඒ ඔස්සේ මෙම දුෂ්කර කාලසීමාව තුළ සිය කාර්ය මණ්ඩලයේ සුබසාධනය සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ කැපවීම අවධාරණය කරන ලදී.