ආපදා සහන සේවා මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් හලාවත ප්‍රදේශයේ නිල සංචාරයක

දෙසැම්බර් 10, 2025

අඛණ්ඩව සිදුකරනු ලබන ආපදා සහන සේවා කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 දෙසැම්බර් මස 10 වන දින හලාවත ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී එතුමන් කුමාරකට්ටුව, අලිවිටිය ප්‍රදේශයේ පදිංචි 15 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බඩියර් ඩබ්ලිව්.ඒ සෝමසිරි සහ තුක්කිනියාගම, කුමාරකට්ටුව, පල්ලම ප්‍රදේශයේ පදිංචි 1 වන බලඇණි විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.කේ.කේ කරුණානායක යන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ආපදාවට ලක්වූ නිවාසයන් නිරීක්‍ෂණය කළ අතර, අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් පීඩාවට පත් පවුල් සඳහා වියළි ආහාර සලාක පාර්සල්ද බෙදා දෙන ලදී.

එම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී සුදර්ශනාරාමය විහාරස්ථාන පරිශ්‍රයේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින පවුල් කිහිපයක් ද හමුවිය. තවද, එතුමන් ජපන් ආපදා සහන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයින් සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ නියෝජිතයින් පිරිසක් ද හමුවූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ එම දායකත්වය අඟය කරමින් ශ්‍රී ලංකාවට ලබාදුන් කඩිනම් සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වයි පළ කළේය.

තවද, හානියට පත්ව තිබූ හලාවත-තොඩුවාව මාර්ගයේ තොඩුවාව පාලම ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලද අතර, එහිදී යුද්ධ හමුදාවේ සහාය ඇතිව ප්‍රවාහනය කරන ලද ඉන්දීය හමුදාව විසින් පරිත්‍යාග කරන ලද පාලමක් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ගංවතුරෙන් හානියට පත් බුජ්ජෝමුව දුම්රිය ස්ථානය අසල ඇති බුජ්ජෝමුව පාලමේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් තාවකාලිකව ඉදිකරන ලද තනි මංතීරු මාර්ගය සහ එම පාලමේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

අනුග්‍රහය - www.army.lk