ආපදා කළමනාකරණය සහ සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක
සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් පැවැත් වේ
දෙසැම්බර් 18, 2025
දිවයිනේ වත්මන් ආපදා සහන මෙහෙයුම්, ආයතනික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර මානුෂීය ආධාර සම්බන්ධීකරණ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සමාලෝචනයක් සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) අතර හමුවක් ඊයේ (දෙසැම්බර් 17) ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේදි පැවැත්විණි.
මෑතකදි ඇති වූ ආපදා තත්ත්වයට මුහුණදීමේදි ශ්‍රී ලාංකික ජනතාව ප්‍රදර්ශනය කළ අසමසම ජාතික සමගිය සහ අභියෝග හමුවේ නොසැලිසිටීමේ හැකියාව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාගේ ඉහළ ඇගයීමට ලක්විය. වත්මන් ආපදා සහන මෙහෙයුම් අතීත අඩුපාඩු මගහරවා ගනිමින් වඩාත් විධිමත් සම්බන්ධීකරණයකින් සහ තිරසාර පදනමකින් ක්‍රියාත්මක වන ප්‍රගතිශීලී හැරවුම් ලක්‍ෂයක් බව මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
ආයතනික සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා ආපදා කළමනාකරණ පනතට හඳුන්වාදීමට නියමිත නව සංශෝධන මෙන්ම, 'පරිසර ආරක්‍ෂණය' ජාතික ආරක්‍ෂාවේම අනිවාර්ය අංගයක් ලෙස පිළිගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ඇතුළු ක්ෂේත්‍රයේ සිදු කෙරෙන ප්‍රධාන ප්‍රතිසංස්කරණ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
විදේශ ආධාර ගලා ඒම විධිමත්ව නිරීක්‍ෂණය කිරීම, ඒවා කළමනාකරණය කිරීම සහ රජයේ ආයතන හා ජාත්‍යන්තර හවුල්කරුවන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සඳහා පිහිටුවා ඇති 'විදේශ සහනාධාර සම්බන්ධීකරණය පිළිබඳ ඉහළ මට්ටමේ කමිටුවේ' (High-Level Committee for Foreign Relief Aid Coordination) සුවිශේෂී කාර්යභාරය පිළිබඳව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දැනුවත් කළේය.
මීට අමතරව, සහන සේවා සැපයීමේදී මුහුණදීමට සිදුවන සැපයුම් දාම අභියෝග, ප්‍රවාහන දුෂ්කරතා සහ ගබඩා පහසුකම් සීමිත වීම වැනි ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. එම ක්‍රියාවලිය වඩාත් සරල සහ කාර්යක්‍ෂම කිරීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) භාණ්ඩ ලබා ගන්නා ප්‍රධාන ආයතනය ලෙස නම් කිරීමේ වැදගත්කම සහ මධ්‍යගත සැපයුම් සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනා කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර හවුල්කාර සංවිධාන ශ්‍රී ලංකාව වෙත ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ සහෝදරත්වය අගය කරමින්, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය හෘදයාංගම කෘතඥතාව මෙහිදී පිරිනැමීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබා දෙන බව මෙහිදී යළිත් තහවුරු කළ නේවාසික සම්බන්ධීකාරකවරයා, ජාත්‍යන්තර මානුෂීය ආධාර නිදහස් කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් කඩිනම් කිරීම සඳහා ගුවන් තොටුපළ සහ වරාය පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් තාවකාලික One-stop facility 'සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කම යෝජනා කළේය.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටට ලබා දෙන අඛණ්ඩ සහාය නැවත තහවුරු කළ අතර, මනා නායකත්වයක් සහ කළමනාකරණයක් සහිත ඒකාබද්ධ විධානයක් සඳහා ජාත්‍යන්තර පිළිවෙත් බෙදා ගන්නා ලදි. මානුෂීය ආධාර නිෂ්කාශනය කඩිනම් කිරීම සඳහා ගුවන් තොටුපළේ සහ වරාය කේන්ද්‍ර කර ගනිමින් තාවකාලික One-stop facility පහසුකම් සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ වැදගත්කමද, යෝජනා කළේය.
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ රාමුව තවදුරටත් සක්‍රීය හා ශක්තිමත් කිරීම උදෙසා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ඔස්සේ සමීප සහයෝගිතාවයකින් යුතුව කටයුතු කිරීමට ඇති අන්‍යෝන්‍ය එකඟතාව සහ කැපවීම යළි තහවුරු කරමින් මෙම සාකච්ඡාව සාර්ථකව නිමාවට පත් විය.