දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‍කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් පර්යේෂණ
ඉදිරිපත් කිරීම සාර්ථකව පවත්වයි

දෙසැම්බර් 22, 2025

කෙඩෙට් නිලධාරි අංක - 93, අංක - 94බී, කෙටිකාලීන පාඨමාලා අංක - 23, කාන්තා 20, (ස්වේච්ඡා) අංක - 62 සහ කාන්තා (ස්වේච්ඡා) අංක -19 යන පාඨමාලාවන් හදාරන ලද කෙඩෙට් නිලධාරින්ගේ සිය අධ්‍යයන සහ යුද පුහුණු කාලසීමාවේ නිමාව සනිටුහන් කරමින්, ඔවුන්ගේ අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.

මෙවර ඉදිරිපත් කිරීම “ඩිජිටල් යුගයේ දෙමුහුන් යුද ක්‍රමවේද නවීන යුද උපායමාර්ග තුළ කෘත්‍රිම බුද්ධියේ කාර්යභාරය” යන තේමාව යටතේ පවත්වන ලදී. මෙම ඉදිරිපත් කිරීම මගින් කෙඩෙට් නිලධාරීන් විද්‍යාපීඨය තුළ ලැබූ පුහුණුව තුළින් ප්‍රගුණ කළ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, විශ්ලේෂණාත්මක හැකියාව සහ වෘත්තීය නිපුණත්වය මැනවින් ප්‍රදර්ශනය විය. මෙම අවසන් ඉදිරිපත් කිරීම කෙඩෙට් නිලධාරීන්ට තමන් සතු පර්යේෂණ හැකියාවන් සහ බුද්ධිමය වර්ධනය එළිදැක්වීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ද විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරල් කේ.පී. අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සහභාගී වූ අතර, එතුමන් පැමිණි අවස්ථාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රුද්‍රිගෝ RSP ctf-ndu psc IG සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ RSP USP ndc psc IG යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. අනතුරුව, ප්‍රධාන උත්සවය ආරම්භ වීමට පෙර කෙඩෙට් නිලධාරීන් විසින් ලබාගන්නා ලද අධ්‍යාපනික දැනුම පිළිබිඹු කෙරෙණ පර්යේෂණ ප්‍රකාශන ප්‍රදර්ශනයක් සහ බෙදා දීමක් සිදු කරන ලදී.

අවසන් පර්යේෂණය ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව අදහස් සහ යෝජනා දැක්වීමේ සැසියක් මෙන්ම නිර්මාණාත්මක ප්‍රශ්නෝත්තර සැසියක් ද පවත්වන ලදී. අනතුරුව, කෙඩෙට් නිලධාරීන්ගේ තෝරාගත් පර්යේෂණ දායකත්වයන් ඇතුළත් කරමින් සම්පාදනය කරන ලද 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ පර්යේෂණ සඟරාව එළිදැක්වීම සිදු කෙරිණි.

ඉන්පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සභාව ඇමතීමේදී කෙඩෙට් නිලධාරීන්ගේ කැපවීම, විනය සහ ඔවුන් ලබාගත් අධ්‍යාපනික ජයග්‍රහණ අගය කරමින් සිය ප්‍රශංසාව එක් කරන ලදී.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, හිටපු සේනාවිධායකවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

අනුග්‍රහය - www.army.lk