ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

දෙසැම්බර් 23, 2025

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, ජාතියේ ඩිජිටල් සීමාවන් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධාන ඒකකය (DCC) විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහා පුළුල් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් 19 වන දින පවත්වන ලදි.

බත්තරමුල්ල, සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදි පැවැත්වූ මෙම වැඩසටහන "Clean Sri Lanka" ජාතික වැඩපිළිවෙළට සමගාමීව සංවිධානය කර තිබුණි. ජාතික ප්‍රගතියේ සහ ඩිජිටල් පවිත්‍රතාවයේ මූලික පදනමක් ලෙස ආරක්‍ෂිත සහ ඔරොත්තු දෙන ඩිජිටල් පරිසරයක් පවත්වාගැනීමේ තීරණාත්මක වැදගත්කම මෙම සහයෝගීතාවය හරහා අවධාරණය කෙරිණි.

වර්ධනය වෙමින් පවතින සංකීර්ණ ඩිජිටල් අවකාශය තුළ ආරක්‍ෂිතව කටයුතු කිරීම සඳහා අවශ්‍ය දැනුමෙන් රාජ්‍ය අංශයේ නිලධාරීන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. මෙහිදී වර්තමාන සයිබර් ආරක්‍ෂණ තර්ජන පිළිබඳව මෙන්ම, දත්තවල සුරක්‍ෂිතතාවය පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු 'ඩිජිටල් ස්වස්ථතාවය' (Digital Hygiene) සහ හොඳම භාවිතයන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. තවද, විද්‍යුත් පාලනය (E-Governance) සහ ආරක්‍ෂිත යටිතල පහසුකම් අතර පවතින සබඳතාවය, ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශය පාලනය කරන නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳ විග්‍රහයක් සහ සයිබර් තර්ජන පිළිබඳ ප්‍රායෝගික නිරූපණයන් ද, මෙයට ඇතුළත් විය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධාන‌යේ  අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් තාක්‍ෂණික විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදි. මෙම වැඩසටහන සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දක්වන ලද ප්‍රබල ආයතනික සහයෝගිතාවය පෙන්නුම් කරමින්, එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය ද මීට සහභාගි විය. අමාත්‍යාංශ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම පිරිස සමඟ සැලසුම් හා අධීක්‍ෂණ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, පරිපාලන අධ්‍යක්‍ෂවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ. මෙම මැදිහත්වීම හරහා ජාතික ඩිජිටල් සම්පත් ආරක්‍ෂා කිරීම සහ සියලුම අමාත්‍යාංශවල තොරතුරු පද්ධතිවල ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජය දක්වන ඒකාබද්ධ කැපවීම මැනවින් පිළිබිඹු වේ.