ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුව ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය වෙනුවෙන් වන පෙර සූදානම සමාලෝචනය කරයි
ජනවාරී 13, 2026ඉලක්කගත මූල්‍ය සම්බාධක කමිටුවේ (Targeted Financial Sanctions Committee) රැස්වීමක් එහි ශ්‍රී ලංකාවේ බලධාරියා (Competent Authority) ලෙස කටයුතු කරන ආරක්‍ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජන. 12) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. 2026 මාර්තු මාසයේදී ආරම්භ වීමට නියමිත 'අන්‍යෝන්‍ය ඇගයීම්' (Mutual Evaluation) ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන්ගේ පෙර සූදානම සමාලෝචනය කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම අනුමත ආයතනික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව සිදුකරන සූදානම් වීමේ කටයුතුවල ප්‍රගතිය, පාර්ශ්වකරුවන්ගේ වගකීම් සහ අන්තර් ආයතනික සම්බන්ධීකරණය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලට (UNSCR) අනුකූලව ඉලක්කගත මූල්‍ය සම්බාධක ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙම සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ ක්‍රියාත්මක වන ජාතික නීති හා රෙගුලාසිවලට අනුව, මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් අත්හිටුවීමේ ක්‍රියාමාර්ග (Asset-freezing measures) ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන පාර්ශවකාර ආයතනවල කාර්යභාරය පැහැදිලි කිරීම සහ ආයතනික සූදානම ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්‍ෂවරයා විසින් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ (FATF) ප්‍රමිතීන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලියේදී තාක්‍ෂණික අනුකූලතාවය සහ ඵලදායීතාවය පිළිබඳ අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ප්‍රමිතීන් ප්‍රායෝගිකව යොදාගත යුතු ආකාරය පිළිබඳව එහිදී කරුණු අවධාරණය කෙරිණි.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින යාන්ත්‍රණයන් සමාලෝචනය කළ ආරක්‍ෂක ලේකම්වරයා, එහි පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඉලක්කගත මූල්‍ය සම්බාධක ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතන අතර සම්බන්ධීකරණය, ලේඛනගත කිරීම සහ මෙහෙයුම් ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවරයන් ද පෙන්වා දුන්නේය.
අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේදී මනා සම්බන්ධීකරණයෙන් යුත්, විනිවිදභාවයකින් යුතු සහ ශක්තිමත් ජාතික රාමුවක් සහතික කිරීම සඳහා වන සියලුම පාර්ශ්වකාර ආයතනවල සාමූහික කැපවීම මෙම රැස්වීමේදී යළිත් තහවුරු විය.
මෙම අවස්ථාව සඳහා ජාතික බුද්ධි ප්‍රධානී, විධිමත් බලධාරි කාර්යාලයේ නියෝජිතයින්, විදේශ කටයුතු අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය, වෙළඳ නැව් ලේකම් කාර්යාලය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව ඇතුළුව අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.