එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි

ජනවාරී 14, 2026

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota මැතිනිය ඊයේ (ජනවාරි 13) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවිය.

මෙම සුහද හමුවේදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, විශේෂයෙන් ‘දිට්වා’ සුළි කුණාටුව සහ එම ආපදාවෙන් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීමේ සහ නැවත ගොඩනැගීමේ කටයුතු පිළිබඳව අවධානය යොමු විය. විපතට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ ඵලදායී ප්‍රතිසාධන යාන්ත්‍රණයක වැදගත්කම අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡා අතරතුරදී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිලධාරීන් විසින් පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුව (PDNA) පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එහිදී තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මඟ පෙන්වන යෝජිත ඉදිරි පියවර පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරිණි. මීට අමතරව, ‘අලාභ හා හානි සඳහා ප්‍රතිචාර දැක්වීමේ අරමුදල’ (FRLD) පිළිබඳව ද අවධානය යොමු වූ අතර, 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීමේ මුලපිරීම් සඳහා මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන අලාභ හා හානි අවම කර ගැනීම ඉලක්ක කරගත් දිගුකාලීන අවදානම් සංවේදී සැලසුම් සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ආපදා ප්‍රතිචාර සහ යථා තත්ත්වයට පත් කිරීමේ මුලපිරීම්වලදී මෙන්ම, අනාගත හදිසි අවස්ථා සඳහා ඵලදායී ලෙස මුහුණ දීමට ජාතික ධාරිතාවන් ශක්තිමත් කිරීමේදී ආරක්‍ෂක අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවයේ වටිනාකම දෙපාර්ශවයම මෙහිදී යළි තහවුරු කළහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.