විදේශ සහනාධාර සම්බන්ධීකරණයේ විනිවිදභාවය සහ සන්නද්ධ හමුදාවන්ගේ
දායකත්වය නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ඇගයීමට
ජනවාරී 22, 2026
විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ (HL-FRAC) අටවන සැසිය, නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජනවාරි 21) කොළඹ පිහිටි නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණි. විදේශයන්ගෙන් ලැබෙන සහන ආධාර කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම, විනිවිදභාවය තහවුරු කිරීම සහ ආයතනික සම්බන්ධීකරණයේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි.
ආපදා සූදානම මෙන්ම, සහන ද්‍රව්‍ය සාධාරණ ලෙස බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කරමින්, මධ්‍යගත ආපදා දත්ත ඇතුළත් කිරීමේ පද්ධතියේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනය කෙරිණි. විදේශ රටවල් 22 කින් සහ ලෝක ආහාර වැඩසටහනෙන් (WFP) ලැබෙන සහන ද්‍රව්‍ය සම්බන්ධ නිවැරදි තොරතුරු හුවමාරුව සහ ඵලදායී සම්බන්ධීකරණය සහතික කිරීම මෙම පද්ධතියේ ප්‍රධාන අරමුණ වේ.
මෙහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කමිටුවේ ක්‍රියාකාරි මැදිහත්වීම ඇගයීමට ලක් කළ අතර, ආපදා අවස්ථාවන්හිදී සන්නද්ධ හමුදාවන් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ද, මෙහිදි විශේෂයෙන් අගය කළේය. විශේෂයෙන්ම මාර්ග සහ පොදු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම උදෙසා හමුදාව ලබාදෙන ශ්‍රම දායකත්වය සහ ඉංජිනේරු සහාය, විපතට පත් ජනතාව වෙත බාධාවකින් තොරව සහන බෙදා හැරීම සහතික කිරීම සඳහා අතිශය තීරණාත්මක වූ බව එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ලැබෙන ආධාර ද්‍රව්‍ය නිසි පරිදි පරිහරණය කිරීම සහ විනිවිදභාවය තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක විගණන කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී කමිටුවේ සමාලෝචනයට ලක් විය. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ (NDRSC) ගබඩා සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දත්ත රැස් කිරීමේදි ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ප්‍රබල කිරීම මෙන්ම, දත්ත පද්ධතිය භාවිතය සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් පුහුණු කිරීම පිළිබඳව ද, මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට කමිටු සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ (NDRSC) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.