ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

පෙබරවාරි 03, 2026

ඩිජිටල් ආරක්‍ෂාව පිළිබඳ ජාතික යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ පූර්වගාමී පියවරක් ලෙස, ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ ජාතික බුද්ධි ප්‍රධානීගේ උපදෙස් මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සයිබර් විධානය (DCC) විසින් තම දෙවන සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා (ජන. 30) දින පවත්වන ලදී. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජාතික මට්ටමේ කාන්තා හා ළමා ඒකක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

බත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම වැඩසටහන "Clean Sri Lanka" ජාතික වැඩපිළිවෙලට සමගාමීව සංවිධානය කරනු ලැබීය. ජාතික සංවර්ධනයේ සහ ඩිජිටල් අඛණ්ඩතාවයේ වැදගත් අංගයක් ලෙස වඩාත් ආරක්ෂිත සහ ශක්තිමත් ඩිජිටල් ආරක්ෂණ පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම මෙම සහයෝගීතාවය ඔස්සේ අවධාරණය කෙරිණි.

වැඩිවන සංකීර්ණ ඩිජිටල් අවකාශය තුළ ආරක්‍ෂිතව කටයුතු කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා රාජ්‍ය අංශයේ නිලධාරීන් වෙත ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. මෙහි විෂය මාලාවට අනුකූලව වර්තමාන සයිබර් ආරක්‍ෂණ තර්ජන, ඇතිවිය හැකි ඩිජිටල් අවදානම් මෙන්ම තොරතුරු සුරක්‍ෂිත කිරීමේ වඩාත් උචිත ක්‍රමවේද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව, ආරක්‍ෂිත විද්‍යුත් පාලන යටිතල පහසුකම්, ශ්‍රී ලංකාවේ සයිබර් අවකාශය පිළිබඳ නීතිමය සහ ප්‍රතිපත්තිමය රාමුව පිළිබඳ දළ විශ්ලේෂණයක් සහ සැබෑ සයිබර් තර්ජන ආදර්ශනය කරමින් ඒවා මර්දනය කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පැහැදිලි කිරීම් ද මීට ඇතුළත් විය.

ආරක්‍ෂක සයිබර් විධානයේ අධ්‍යක්‍ෂවරයාගේ මෙහෙයවීමෙන්, විශේෂඥ තාක්‍ෂණික කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. අන්තර් ආයතනික සහයෝගීතාවය මැනවින් ප්‍රදර්ශනය කරමින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මීට සහභාගී වූහ. ජාතික ඩිජිටල් සම්පත් ආරක්‍ෂා කිරීමට සහ සියලුම අමාත්‍යාංශ හරහා තොරතුරු පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්‍ෂාව සහතික කිරීමට රජයේ අඛණ්ඩ කැපවීම මෙයින් මනාව පිළිබිඹු වේ.