ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වේ
පෙබරවාරි 07, 2026පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (පෙබරවාරි 06) ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා අදාළ ප්‍රධාන පාර්ශ්වකාර ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගීතාවයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ලබයි. නිශ්චිත කාලරාමුවකට අනුව, පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ සියලුම ක්ෂේත්‍ර වලට සිදුවූ භෞතික හානි, ආර්ථික පාඩු සහ සමාජීය බලපෑම් පිළිබඳ දත්ත ක්‍රමානුකූලව රැස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ ඇගයීම මෙම ක්‍රියාවලියට ඇතුළත් වේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජන ජීවිත, ඔවුන්ගේ ජීවනෝපායන්, යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන්ට දැඩි හානි සිදු වූ 'දිත්වා' සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඇති වී තිබෙන මූලික පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම ඊට අදාළ දත්ත ඉදිරිපත් කිරීම මෙන්ම, ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබුණි. ක්ෂණික සහන සේවා කටයුතු නිම කිරීමෙන් අනතුරුව, ප්‍රතිසාධනය, පුනරුත්ථාපනය සහ දිගුකාලීන නැවත ගොඩනැගීමේ කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 'Rebuilding Sri Lanka' ජනාධිපති කාර්ය සාධක බලකා වැඩසටහනට සමගාමීව ශක්තිමත් ප්‍රතිසාධන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා මෙම පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය සිදුකරනු ලබන බවයි. මෙම කාර්ය සාධක බලකාය අනුකමිටු අටකින් සමන්විත වන අතර, ඒ අනුව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ කමිටුව අනෙකුත් කමිටු අධීක්‍ෂණය කරන ප්‍රධානතම කමිටුව ලෙස කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එහිදී නිශ්චිත කාල සීමාවක් තුළදී අපේක්‍ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. සිදු වී ඇති හානි සහ අලාභ පිළිබඳ මූලික ඇස්තමේන්තු සකස් කිරීම, ප්‍රතිසාධන අවශ්‍යතා තක්සේරු කිරීම, සංවර්ධන ක්‍රියාවලිය සඳහා අදාළ පාර්ශ්වකරුවන් විසින් ලබා දිය යුතු සහයෝගීතාවයේ ස්වභාවය සහ ඒ අනුව ඇතිවිය හැකි සම්බන්ධීකරණ අභියෝග පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් විය.
ජාතික වශයෙන් ස්වභාවික ආපදා අවදානම් පිළිබඳ දැනුවත් කෙරෙන සහ එම ආපදා තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි මෙන්ම, තිරසාර ප්‍රතිසාධන සැලැස්මක් සකස් කිරීමට හැකි වන පරිදි පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අන්තර් ආයතනික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අවධාරණය කරමින් සාකච්ඡාව නිමාවට පත්විය.
මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මෙන්ම, යුරෝපා සංගමය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ආසියානු කලාපීය ආපදා පූර්ව සූදානම් කිරීමේ මධ්‍යස්ථානය, ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයින් ඇතුළුව අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.