දීඝවාපිය ස්ථූපයේ ශ්‍රී විභූතිය නැවත දැක ගැනීමට ඉක්මනින් කටයුතු කෙරේ

ජනවාරී 14, 2021
  • රටේ පස්වන උසම ස්තූපය ප්‍රතිෂ්ඨාපනය කෙරෙමින් පවතී
  • වන්දනා කිරිම සඳහා දීඝවාපිය පූජනීය ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනු ලැබේ  

මීට පෙර දියත් කළ උත්සාහයන් නිෂ්ඵල වුවද, දීඝවාපිය ස්ථූපය පෙර තිබුණු තත්වයෙන් විරාජමානව මෙවර අපට දැකගත හැකි වනු ඇතැයි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ඊයේ (ජනවාරි 13) ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරන ලදී.

“අපි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර තුනක් ඇතුළත අවසන් කරන්නෙමු” යනුවෙන් දීඝවාපිය පරිත්‍යාග ගිණුම නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය සම්බන්ධව පණිවිඩය ලබාදීම සඳහා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු නැවත අවධාරණය කළේය.  

පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව දීඝවාපිය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා වෙන්වූ ගිණුමක් විවෘත කර ඇති අතර එය 2021 ජනවාරි මස 22 වන දින මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තුමාගේ මඟපෙන්වීම යටතේ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේදී නිල වශයෙන් දියත් කරන බව වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ජෙනරාල් ගුණරත්න මහතා සදහන් කළේ, අපට ඇති ලොකුම අභියෝගය වන්නේ ස්ථුපය ඉදිකිරීම සඳහා අවශ්‍ය මූලික ද්‍රව්‍ය වන සම්මත ගඩොල් නිෂ්පාදනය, ඒවා ප්‍රවාහනය සහ දෛනිකව ගඩොල් 28000 ක් ඇතිරීමයි.

සම්මත ගඩොල් මිලියන 23 ක්, ගංගා වැලි කියුබ් 3977 ක්, සිමෙන්ති බෑග් 30167 ක් සහ අවශ්‍ය වෙනත් අමුද්‍රව්‍ය පිළිබඳව සදහන් කරමින් ඔහු කියා සිටියේ මෙම සම්පත් සැපයීම සඳහා අපට මූල්‍ය ආධාර අවශ්‍ය බවයි.

එමනිසා මෙම පණිවිඩය මහජනතාව වෙත ලබාදීමෙන් මෙම උදාර අරමුණට සහාය වන ලෙස ඔහු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ජාලයන්ගෙන් ඉල්ලා සිටියේය.

ස්ථුපය වටා ගල් අතුරා සලපතල මළුවක්ද, වන්දනාකරුවන් සඳහා විවේක ගැනීමට සියළු පහසුකම් වලින් යුත් විශ්‍රාම ශාලාවක්  ඉදිකිරීමටත්, සල් සහ නා පැළ සිටුවා රමණිය පරිසරයක් සැකසීමටත් සැලසුම් කර ඇති බව ඔහු පැවසීය.

මෑතකදී කරන ලද කැණීම්වලදී මංජුසාවක තැන්පත් කර තිබී සොයාගත් පූජනීය සර්ව‍ඥ ධාතු සම්බන්ධව සිහිපත් කරමින් “ව්‍යාපෘතිය නිම වූ වහාම පූජනීය භූමියට සම්බන්ධ සියලු ධාතූන් එකම ස්ථානයක තබනු ඇත යනුවෙන් ආරක්ෂක ලේකම් පැවසීය.
 
කොරෝනා වසංගත තත්ත්වය තරමක් පහව ගිය පසු බැතිමතුන්ට වන්දනා කිරීම සඳහා පූජනීය ධාතූන් වහන්සේලා කොළඹ සහ තවත් නගරවලට  වැඩමවා ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.     

මේ සඳහා රාජ්‍ය මුදල් යොදා නොගන්නා බව පැවසූ ඔහු, “මෙම දැවැන්ත උත්සාහයට රුපියල් බිලියනයක් පමණ අවශ්‍ය වන අතර බැතිමතුන් සහ දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් මගින් ගොඩනැගෙනු ඇත”.යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

මෙම පූජනීය ස්ථුපය වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන්හට අවස්ථාව උදාකිරීම සහ අනාගත පරපුරට අප මාතෘ භූමියේ අභිමානය දැක බලා ගැනීමට දීඝවාපිය ගොඩනගමු, ආරක්ෂා කරමු!