දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් පිරිසක්
ආරක්‍ෂක ලේකම්වරයා හමුවෙයි
පෙබරවාරි 10, 2026
දේශීය ගුවන් සේවාවන්හි මෙහෙයුම්වලට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් අද දින (පෙබරවාරි 10) ආරක්‍ෂක අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී, ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙන්ම, නිසි ක්‍රමවේදයක් ඔස්සේ දේශීය සිවිල් ගුවන් මෙහෙයුම් විධිමත් කිරීම සඳහා වැදගත් වන කරුණු කිහිපයක් කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු විය. ජාතික සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා සුමට සුරක්‍ෂිත මෙන්ම, වඩාත් කාර්යක්‍ෂම ගුවන් සේවා මෙහෙයුම් පද්ධතියක් සහතික කිරීම මෙම ප්‍රයත්නයේ මූලික අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, සිවිල් ගුවන් සේවා මෙහෙයුම් වඩාත් පහසු සහ කාර්යක්‍ෂම කිරීම සඳහා දැනට පවතින ක්‍රියා පටිපාටි පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකොට, විධිමත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
ගුවන් සේවා කර්මාන්තයට අනුබද්ධිත නියාමන බලධාරීන්, ආරක්‍ෂක අංශ සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව මෙහෙයුම් මෙන්ම, ආරක්‍ෂක ගැටලු පිළිබඳව විවෘතව අදහස් හුවමාරු කර ගැනීමට මෙම රැස්වීම මඟින් මනා පිටුවහලක් ලැබුණි. එහිදී ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය ලබා දෙමින්, දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය උදෙසා අන්තර් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ සහ ප්‍රායෝගික ප්‍රවේශයන් අනුගමනය කිරීමේ වැදගත්කම විශේෂයෙන් පෙන්වා දෙන ලදි.
ආරක්‍ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම, වරාය අධිකාරිය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, ගුවන් යානා හිමියන්ගේ සහ ක්‍රියාකරුවන්ගේ සංගමයේ සහ දේශීය ගුවන් සේවා සමාගම්වල නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.