සමුද්‍රීය අපරාධ මර්දනය සඳහා ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය නාවික
සබඳතා ශක්තිමත් කරයි
පෙබරවාරි 15, 2026
සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් ලෙස ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින්, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ සවුදි අරාබියේ රාජකීය නාවික හමුදාවේ (RSNF) හමුදාපති වයිස් අද්මිරාල් Mohammed bin Abdulrahman Al-Ghribi, අතර නිළ සාකච්ඡාවක් පැවැත්විණි. මෙම හමුව සවුදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට (World Defence Show) සමගාමීව එරට ආරක්‍ෂක අමාත්‍යාංශය පරිශ්‍රයේදී පැවැත්විණි.
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම, තැනැත්තන් වෙළඳාම සහ සංවිධානාත්මක අපරාධ ඇතුළු සැලකිය යුතු දේශසීමා ආශ්‍රිත සමුද්‍රීය තර්ජන බොහොමයකට මුහුණ දෙයි. මෙම පොදු අභියෝග හඳුනා ගනිමින් හා අවශ්‍ය අංශ හඳුනාගැනීමේ අරමුණින් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශවයේ නිලධාරීන් පුළුල් සාකච්ඡාවක නිරත වූහ.
කුඩා ඉලක්ක හඳුනාගත හැකි නවීන රේඩාර් තාක්‍ෂණය හඳුන්වා දීම සහ ගුවන් නිරීක්‍ෂණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා ඩ්‍රෝන (Drone) තාක්‍ෂණික සහාය ලබා ගැනීම හරහා සමුද්‍රීය වපසරිය පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness - MDA) ඉහළ නැංවීමට සවුදි රජයේ සහාය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා දූත පිරිස අපේක්‍ෂා පළකර සිටියහ. එමෙන්ම, සෞදි රජයේ තාක්‍ෂණික සහයෝගීතාව ඔස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවල පවතින නිරීක්‍ෂණ පද්ධති නවීකරණය කිරීම කෙරෙහි ද, මෙහිදී ප්‍රමුඛ අවධානයක් යොමු විය.
තවද, සවුදි රාජකීය නාවික හමුදාවේ යුධ නෞකා සුහද සංචාර සඳහා ශ්‍රී ලංකාවේ වරායන් වෙත පැමිණීම සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟින් නාවික අභ්‍යාස මෙන්ම, බළඇණි සමාලෝචන (Fleet Reviews) සඳහා සහභාගීවීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශවය කරුණු විමසා බැලූහ. මේ සම්බන්ධයෙන් සෞදි රජයේ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට සවුදි නාවික හමුදාපතිවරයා සිය කැමැත්ත පළ කළේය.
දිනෙන් දින පරිණාමය වන නවීන ආරක්‍ෂක තර්ජනවල ස්වභාවය හඳුනා ගනිමින්, ඩිජිටල් සහ දෙමුහුන් (Hybrid) අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ සයිබර් ආරක්‍ෂණ හැකියාවන් වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට සහාය වීම පිළිබඳ කරුණු ද සාකච්ඡාවට ඇතුළත් විය.
ආයතනික සබඳතා ශක්තිමත් කිරීමට සහ අනාගත සහයෝගීතාව සඳහා පසු විපරම් ක්‍රියාමාර්ග හඳුනා ගැනීමට විධිමත් හා ජ්‍යෙෂ්ඨ මට්ටමේ මාණ්ඩලික සාකච්ඡා (Staff Level Talks) සහ සම්බන්ධ පුහුණු අවස්ථා ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශවය එකඟ වූහ.
දෙරටේම පොදු සමුද්‍රීය ආරක්‍ෂක ගැටලු විසඳීමට සහ ද්විපාර්ශ්වික නාවික සහයෝගීතාව ඉහළ නැංවීමට සමීපව කටයුතු කරන බවට දෙපාර්ශවයම යළිත් සහතික වෙමින් මෙම හමුව සාර්ථකව අවසන් විය.