ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී,
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

පෙබරවාරි 21, 2026

ඇමෙරිකානු පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් Stephen T. "Web" Koehler 2026 පෙබරවාරි 19 සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර ඊයේ (පෙබරවාරි 20) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) හමුවිය. 

එහිදී ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝග, සමුද්‍රීය ආරක්‍ෂාව, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දෙරටේ අන්තර් සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙන්ම සමුද්‍රීය විෂයපථය පිළිබඳ දැනුවත්භාවය (Maritime Domain Awareness - MDA) ශක්තිමත් කිරීම ආදී වැදගත් කරුණු රැසක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට විශේෂයෙන්ම මෙරට නාවික හමුදාවේ හැකියාවන් ඉහළ නැංවීමට සහ මෑතකදී ඇති වූ ‘දිට්වා’ ස්වභාවික ආපදා තත්ත්වයේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදුන් හදිසි මානුෂීය ආධාර හා සහයෝගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය කෘතඥතාව පළ කළේය.

නීතිවිරෝධී ජාවාරම් ඇතුළු දේශසීමා ඉක්මවා යන අපරාධ සහ අනෙකුත් නූතන අභියෝගයන්ට එරෙහිව සටන් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම සාකච්ඡාවලදී ඉස්මතු විය. ඒ සම්බන්ධයෙන් වඩා පුළුල් පරාසයක දැනුවත්භාවයක් ලබා ගැනීම සඳහා උසස් තාක්‍ෂණික ක්‍රමවේද සහ සම්බන්ධිත මෙහෙයුම් ඒකාබද්ධ කිරීම කෙරෙහි මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් විය. ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කාර්‍යක්‍ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් නව ඇමෙරිකානු වෙරළාරක්‍ෂක නෞකාවක් ලබාදීම තුළින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙරට මුහුදු සීමාව තුළ පවතින ආරක්‍ෂක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන වැදගත් පියවරක් ලෙස හඳුනා ගන්නා ලදී.

දෙපාර්ශවය අතර දැනට පවතින ආරක්‍ෂක සහ පුහුණු සහයෝගීතාව මෙන්ම ඒකාබද්ධ අභ්‍යාස, පුහුණු වැඩසටහන් සහ සහයෝගී මුලපිරීම් හරහා සම්බන්ධීකරණය වැඩිදියුණු කළ හැකි ක්‍රම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සමුද්‍රීය ආරක්‍ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ වැඩිදියුණු කළ ආරක්‍ෂක සහයෝගීතාව යන පොදු අරමුණු වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය දක්වන කැපවීම අද්මිරාල් Koehler මෙහිදී යළිත් තහවුරු කළේය.

මෙම හමුව සඳහා පැසිෆික් නාවික බලඇණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් Matthew House ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.