නාවික හමුදා නව යාත්‍රාව කොළඹ වරායට පැමිණේ

ජුලි 09, 2019

ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා 2019 ජුනි මස 05 වන දින මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ලබාගන්නා ලද පී 625 (P 625) නෞකාව සඳුදා (ජූලි 08) දින කොළඹට පැමිණි බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම නෞකාව කොළඹ වරායට පැමිණි පසු නාවික හමුදා සාම්ප්‍රදායන්ට අනුව පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහ ආණ්ඩු තානාපති අතිගරු චේන්ග් සූයුවාන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් ද වේ. ශ්‍රී ලංකාව වටා ගැඹුරු මුහුදු කලාපය තුළ මුර සංචාර සහ නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා මෙම නෞකාව භාවිතා කිරීමට නාවික හමුදාව අදහස් කරයි. තවද සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, ධීවර ප්‍රජාවට ආරක්‍ෂාව සහ සහන සැපයිම සඳහාද භාවිතා කරනු ඇත. මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත