කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරයි.

අප්‍රේල් 30, 2019

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා කච්චතිව් පල්ලිය ඉදිකිරීමට ආධාර කළ ගෘහ නිර්මාණ ශිල්පියාගේම සේවය ලබා ගැනීමට නාවික හමුදාව කටයුතු කරන බැව් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳුදා (අප්‍රේල් 29) දින සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවතී මාධ්‍ය හමුවේ දී පැවසිය. තවද ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූ පසු පල්ලිය පෙර තිබු තත්ත්වයටත් වඩා හොඳින් දිස්වෙනු ඇතැයි ඔහු සඳහන් කළේය.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි. පසුගිය පැය 24 තුළ නාවික හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෝටර් රථයක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රි රෝද රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසීය වෙත භාර දී තිබේ. නාවික හමුදාව විසින් යාපනය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී සංවිධානයකට අයත් ලියකියවිලි ළඟ තබාගත් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී තවත් එවැනිම ලියකියවිලි ළඟ තබාගත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹදී අත්අඩංගුවට ගත එක් සැකකරුවෙකු ළඟ තිබී ව්‍යාජ හැඳුනුම්පත් 10 ක් ද සොයාගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්‍ෂාව සපයනු ලබන නොරොච්චෝලේ බලාගාරය ඇතුළු වැදගත් ස්ථාන සඳහා විශේෂිත වූ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවසිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය පැය 24 පුරා ඒකල, රද්දොළුගම හා වැලිමඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වල සෝදිසි මෙහෙයුම් සිදුකල බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනවිරත්න පවසයි. ඒකල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ළඟ තිබී ජංගම දුරකථන 05 ක්, වායු රයිෆලයක්, කඩුවක්, කිනිසි 02 ක්, පතුරම් තුවක්කු වලට යොදන උණ්ඩ 02 ක්, පතුරම් හිස්කොපු 10 ක් හා භාවිතා කරන ලද පතොරම් 03 ක් සොයාගෙන තිබේ. වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා මෙම සැකකරු පොලීසිය වෙත බාරදී ඇත. මේ අතර එම ප්‍රදේශයේදීම කාන්තාවක් ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අන්තවාදී කණ්ඩායම්වල වීඩියෝ දර්ශන සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන්ගේ දර්ශන සහිත ජංගම දුරකථන ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇත. රද්දොළුගම ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී කඩු 06 ක්, රයිෆලයක් සහ රයිෆල් උණ්ඩ කිහිපයකුත් සොයාගෙන ඇත. වැඩිදුර විමර්ශනය සඳහා සියලුම සැකකරුවන් පොලීසිය වෙත භාරදී ඇත. කටුනායක සහ මත්තල යන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ආරක්‍ෂාව තහවුරු කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.