දීඝවාපිය ස්ථූපය සඳහා අවශ්‍ය වන ගඩොල් යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන්

ජනවාරී 26, 2021

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා දිනකට අවශ්‍ය සම්මත ගඩොල් 30,000 ක පමණ ප්‍රමාණය  යුධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (ජනවාරි 26) දින පැවසිය.

“ස්තූපය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වීමට කැමති බැතිමතුන් හට මෙම උදාර අරමුණ සඳහා සහය ලබාදෙන ලෙසට ආරාධනා කරන බව”, ඒ සඳහා විවෘත කර ඇති බැංකු ගිණුම පිළිබද සඳහන් කරමින් ඔහු පැවසීය.

මෙම පරිත්‍යාගයන්හි විනිවිදභාවය පිළිබදව තහවුරු කරමින් ඔහු කියා සිටියේ ගිණුමේ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවයි.

අද අම්පාර දීඝවාපිය ස්ථූප පරිශ්‍රයේ සිදුකළ නිරීක්ෂණ  චාරිකාවක් අතරතුරදී ජෙනරාල් ගුණරත්න මේ බව ප්‍රකාශ කරන ලදී.

වසර තුනක කාලයක් තුළ මෙම මහා ස්ථූපයේ ශ්‍රී විභුතිය නැවත විදහා දැක්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් මෙහිදී ප්‍රතිඥා දෙන ලදී.    

දීඝවාපිය විහාරයේ විහාරාධිපති මහඔය සෝභිත හිමි ඇතුළු මහා සංඝ රත්නය, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩිඑම්එල් බණ්ඩාරනායක, ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග (විශ්‍රාමික), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන සේනාධීර, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් රොබින් ජයසූරිය, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ මිනින්දෝරුවන් ද මෙම නිරීක්ෂණ චාරිකාව සදහා සහභාගී වූහ.