යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දිවයින පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අරඹයි

අප්‍රේල් 27, 2019

හදිසි නීති රෙගුලාසි තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට පැවරි ඇති බලතල වලට අනුව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශ ආවරණය වන පරිදි දිවයින පුරා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

ඒකාබද්ධ මෙහෙයුම් වල නිරත භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (25) දින කොළඹ කොටුව, ලෝක වෙළඳ මධ්‍යස්ථානය (WTC), ලංකා බැංකු ගොඩනැගිල්ල, නෙළුම් පොකුණ රඟහල සහ තවත් වාණිජමය වැදගත්කමකින් යුත් ගොඩනැගිලි කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන ලදි.

එසේම, මට්ටක්කුලිය සහ තදාසන්න ප්‍රදේශ, කටුවපිටිය, පූගොඩ, පුත්තලම, කල්ලදිය ප්‍රදේශයන්හි අවදානම් සහිත ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් රැසක් සිදු කළ අතර, කටාන සහ මීගමුව ප්‍රදේශයන්හි පැවති අවමංගල්‍ය කටයුතු සඳහා හමුදා ආරක්‍ෂාව සපයන ලදි. තවද නීතිය හා සාමය තහවුරු කිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයන්හි භට පිරිස් ස්ථාන ගත කරන ලදි.

බටහිර ආරක්‍ෂාව සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය යටතේ ඇති 141 සහ 143 වන බලසේනාවන්ට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරීන් 15 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින අතර, එහිදි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා පොලිස් නිලධාරීන් වෙත භාරදී ඇත. තවද 583 බලසේනාවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහිදි සැක කටයුතු නිවාස 41 ක් ආරක්‍ෂක අංශ විසින් සෝදිසි කර තිබේ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා භට පිරිස් විසින් පා මුර සංචාර හා මාර්ග බාධක යොදමින් පැය 48 ක් තුල සැක කටයුතු වාහන, ආරක්‍ෂිත නිවාස, සැක සහිත ස්ථාන, ගොඩනැගිලි ආදිය තුළ විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත මෙහෙයුම්වල නිරතව සිටින ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ හිතවතුන්, අනුගාමිකයන් සහ පුපුරණ ද්‍රව්‍ය, අවි සහ පතුරම් ප්‍රවාහනය කිරීම පිළිබඳ විමර්ශණය කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 7000 කට අධික පිරිසක් යොදවා ඇති බවයි. මේ අතර සිකුරාදා (25) දින සිදු කළ ඒකාබද්ධ පොලිස් මෙහෙයුම් වලදි සිදු කළ ප්‍රශ්ණ කිරීම්වලදී සැකකරුවන් 60 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර නැගෙනහිර පළාතේ රිදිතැන්න, වාලච්චේන, කාත්තන්කුඩි සහ දිඹුලාගල යන ප්‍රදේශයන්හි බදාදා (25) දින උදෑසන යුද්ධ හමුදාව විශේෂ කාර්ය බලකාය, නාවික, ගුවන් හමුදා භටයින් සහ පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධව වැටලීමකදි සැකකරුවන් කිහිප දෙනෙකු අත්ඩංගුවට ගෙන ඇත.

ඒ හා සමානව නැගෙනහිර පලාතේ පුනානි විශ්ව විද්‍යාලය තුළ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පිළිබඳ ලද තොරතුරකට අනුව සෝදිසි මෙහෙයුම් සිදු කර ඇත.

පසුගිය කාලය පුරා ආගමික ප්‍රධානින් සහ සිවිල් ක්‍රියාකාරීන් සමග සකාච්ඡා කිහිපයක් සඳහා සහභාගී වූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර එම ප්‍රදේශය තුළ පැය 24 ක කාලය තුළ රැස්වීම් ගණනාවක් පවත්වන ලදී.

එදිනම මුස්ලිම් පල්ලි තුළ සිකුරාදා (26) දින පැවති ඔවුන්ගේ යාඥා ආරම්භ වන විට එම ස්ථානයන් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් ආරක්‍ෂාව සපයා ඇත.

යාපනය, වව්නියාව, කිලිනොච්චි, මුලතිව් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්ට අනුයුක්තව සේවය කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් විසින් දිවයිනේ සැක කටයුතු ප්‍රදේශයන් තුළ පා මුර සංචාර, මාර්ග බාධක, සැක කටයුතු වාහන පරික්‍ෂා, සිදු කර ඇති අතර එහිදි අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිපදෙනෙකු සිකුරාදා (25) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් පොලීසිය වෙත භාර දෙන ලදී.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය