අම්පාර ජනතාව සදහා නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන

පෙබරවාරි 06, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධනය අරමුණ කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින්  අම්පාර, පදියතලාව ප්‍රදේශයේ ජල හිඟයෙන් පෙළෙන ගම්වාසින් වෙනුවෙන් තවත් ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන හතරක් පෙබරවාරි මස 4 දින ජනතා අයිතියට පත් කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීම සඳහා සකස් කරන ලද ජාතික වැඩසටහනට දායක වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව තාක්ෂණික විශේෂඥතාව සහ සිය ශ්‍රමය ලබා දී රට පුරා ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 817 ක් ස්ථාපිත කර ඇත.
 
ඒ අනුව මෙම නව ජල පිරිපහදු මධ්‍යස්ථාන පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය, කොල්ලෑගම රජ මහා විහාරය, සේරන්කඩ පුරාණ රජමහා විහාරය සහ මීගස්වත්ත ළමා උද්‍යානය යන ස්ථානවල ස්ථාපනය කර ඇති බව නාවික හමුදාව පවසයි.  

එහි ප්‍රතිලයක් ලෙස , මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් එම ප්‍රදේශ වල පදිංචිකරුවන් සදහා පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවනු ඇත.

ගිණිකොන නාවික විධානයේ කපිතාන් සැපයුම් හා සේවා, කපිතාන් ප්‍රශාන් මාසෝ විසින් මෙම ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථාන විවෘත කල අතර මේ අවස්ථාව සඳහා නාවික හමුදා සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වන ලදී.  

පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම උත්සවය පවත්වන ලදී.