සම්පූර්ණ සුවය ලබා ඊයේ දින රෝහල්වලින් පිටව ගිය කොරෝනා අසාදිතයින් ගණන 1,133 යි

පෙබරවාරි 07, 2021

අද (පෙබරවාරි 07) වන දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 726 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 68,575 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් 197 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 116 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 101 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 312 ක් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (පෙබරවාරි 07) දින ප්‍රකාශ කරන ලදී.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 64,580 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 61,180 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (06) දින තවත් PCR පරීක්ෂණ 14,749 ක් සිදුකර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1,133 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 62,593 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 5,631 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 87 ක් යටතේ පුද්ගලයින් 8,063 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණ 08 ක් වාර්තා වූ අතර ඒ අනුව රටේ කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබේ.